5. 5. 2. 4.
[බහුභාණී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, බහුභාණී (ප්‍රඥාවෙන් නො පිරිසිඳ බොහෝ කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොරු කියයි. පිසුනු කියයි. රළුබස් කියයි. හිස්බස් කියයි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, මේ බහුභාණී පුද්ගලයා කෙරෙහි ආදීනව පස යි.
මහණෙනි, මන්තභාණී (=නුවණින් දැන කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොරු නො කියයි. පිසුනු නො කියයි. රළුබස් නො කියයි. හිස්බස් නො කිය යි. කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි. මේ මන්තභාණී පුද්ගලයා කෙරෙහි අනුසස් පස යි.
5. 5. 2. 5.
[ප්‍රථම අක්ඛන්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, අක්‍ෂාන්තියෙහි (මෙරමා වරද නො ඉවසීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වද්‍ය බහුල ද වෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. වෛර බහුල නො වේ. වද්‍ය බහුල නො වේ. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙයි.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 6.
[ද්විතීය අක්ඛන්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. රෞද්‍ර ද වෙයි. විපිළිසර ඇති යේ ද වෙයි. මුළා වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පස යි.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. රෞද්‍ර ද නො වෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. මුළා නො වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.