5. 5. 2. 5.
[ප්රථම අක්ඛන්ති සූත්රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, අක්ෂාන්තියෙහි (මෙරමා වරද නො ඉවසීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වද්ය බහුල ද වෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්ෂාන්තියෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, ක්ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්රිය මනාප වෙයි. වෛර බහුල නො වේ. වද්ය බහුල නො වේ. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ග ලෝකයට පැමිණෙයි.
මහණෙනි, ක්ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 6.
[ද්විතීය අක්ඛන්ති සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, අක්ෂාන්තියෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්රිය අමනාප වෙයි. රෞද්ර ද වෙයි. විපිළිසර ඇති යේ ද වෙයි. මුළා වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්ෂාන්තියෙහි මේ දොස් පස යි.
මහණෙනි, ක්ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්රිය මනාප වෙයි. රෞද්ර ද නො වෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. මුළා නො වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ග ලෝකයෙහි උපදනේ ය.
මහණෙනි, ක්ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 7.
[ප්රථම අපාසාදික සූත්රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, අප්රාසාදිකයා කෙරෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද කෙරෙයි. විඥයෝ දැන ගර්හා කරත්. ලාමක කීර්තිශබ්දයෙක් නැඟෙයි. සම්මූඪ ව කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අප්රාසාදිකයා කෙරෙහි මේ දොස් පස යි.
මහණෙනි, ප්රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කරයි. විඥයෝ දැන පසස්නාහ. කලණකිත්හඬ නැඟෙයි. අසම්මුඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති ස්වර්ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, ප්රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 8.
[ද්විතීය අපාසාදික සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, අප්රාසාදික පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නො පහන්හු නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන්ගේ අන්යථාත්වය (කළකිරීම) වෙයි. ශාස්තෘ ශාසනය නො කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත නො පහදී.
මහණෙනි, අප්රාසාදික පුද්ගලයා කෙරෙහි මේ දොස් පස යි.
මහණෙනි, ප්රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අප්රසන්නයෝ පහදනාහ. ප්රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. ශාස්තෘශාසනය කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත පැහැදෙයි.
මහණෙනි, ප්රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පස යි.