5. 5. 2. 3.
[සීල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි (=සිල්බිඳීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙහි ශීලවිපන්න (=ශීලවිපත්තියට පත්) ගිහි දුශ්ශීලයා ප්‍රමාදය නිසා මහත් භොග හානියට, (පැවිදි දුශ්ශීලයා සප්තාර්‍ය්‍යධ්‍යානහානියට) පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ පළමුවන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයාගේ පවිටු කීර්ති ඝෝෂය නැඟේ. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දෙවන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි යම් යම් පිරිසකට එළඹේ නම්, අවිශාරද (බියසහිත) වූයේ සැක සහිත වූයේ එළඹෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ තුන්වන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා මුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ සිව් වන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි මේ පස්වන ආදීනවය යි.
මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, සිල්වතාගේ ශීලසම්පත්තියෙහි (=සිල් පිරීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙහි සීලසම්පන්න සිල්වත් (ගිහියා) අප්‍රමාදය නිසා මහත් භොග රාශිය (පැවිද්දා ආර්‍ය්‍ය ධනය) ලබයි. මහණෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ පළමුවන අනුසස යි.
තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත්හට යහපත් කීර්ති ඝෝෂයෙක් නැඟේ. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ දෙවන අනුසස යි.
තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් යම් යම් පිරිසකට ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි එළඹේ නම්, විශාරද (නිර්භීත) වූයේ නිසැක වූයේ එළඹෙයි. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ තුන්වන අනුසස යි.
තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් නොමුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, සිල්වත්හට සීලසම්පත්තියෙහි මේ සිව්වන අනුසස යි.
තවද මහණෙනි, ශීලවසම්පන්න සිල්වත් කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, සිල්වත්හට ශීලසම්පත්ති යෙහි මේ පස්වන අනුසස යි.
මහණෙනි, මේ සිල්වත්හට ශීලසම්පදාවෙහි අනුසස් පස යි.
(මේ සූත්‍රය ගිහි පැවිදි දෙපසට ම සුදුසුසේ යෙදේ.)
5. 5. 2. 4.
[බහුභාණී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, බහුභාණී (ප්‍රඥාවෙන් නො පිරිසිඳ බොහෝ කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොරු කියයි. පිසුනු කියයි. රළුබස් කියයි. හිස්බස් කියයි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, මේ බහුභාණී පුද්ගලයා කෙරෙහි ආදීනව පස යි.
මහණෙනි, මන්තභාණී (=නුවණින් දැන කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්: