5. 4. 1. 8.
[සාරජ්ජ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ නිස්තේජස්කභාවයට පැමිණියේ වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, දුශ්ශීල වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි.
මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත මහණ (ශාරද්‍යයට) නිස්තේජස්කභාවයට පැමිණියේ වේ.
මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ විශාරද වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්‍රාරබ්ධවීර්‍ය්‍ය වෙයි, ප්‍රඥා ඇතියේ වේ.
මහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත මහණ විශාරද වේ යයි.
5. 4. 1. 9.
[උදායී සූත්‍රය]
9. මා විසින් මෙසෙයින් අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහිපිරිසක් විසින් පිරිවරණ ලද්දාහු ධර්‍ම දේශනා කරමින් හුන්නාහු වෙත්. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මහත් ගිහිපිරිස් විසින් පිරිවරණ ලදු වැ දම් දෙසමින් හුන් ආයුෂ්මත් උදායී තෙරුන් දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහි පිරිස් විසින් පිරිවරණ ලද්දාහු දම් දෙසත්හ”යි.
ආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ මැ යි. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරණුවහු විසින් තමා තුළ ධර්‍ම පසක් එළවාගෙණ මෙරමාහට දම් දෙසිය යුතු. කවර පසෙක යත්:
‘ආනුපූර්වී (පිළිවෙළ) කථාව කියන්නෙමි’ යි පරහට ධර්‍මය දෙසිය යුතු. ‘පර්‍ය්‍යාය (කරුණු) දක්වන්නෙම් කථා කියන්නෙමි’ යි පරහට දම් දෙසිය යුතු. ‘අනුකම්පා පිණිස ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘ලාභාපේක්‍ෂා නැතියෙම් ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘තමා හා මෙරමා හා නො ඝටා ධර්‍මකථා කියන්නෙමි’යි පරහට ධර්‍මය දෙසිය යුතු.
ආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරන්නහු විසින් මෙ ධර්‍ම පස තමා තුළ එළවා පරහට ධර්‍මය දෙසිය යුතු යි.
5. 4. 1. 10.
[දුප්පටිවිනෝදය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ කරුණු පසෙක් උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. කවර පසෙක යත්:
රාගය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. ද්වේෂය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. මෝහය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ප්‍රතිභානය දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ගමික චිත්තය දුකසේ දුරැලිය හෙන්නේ ය.
මහණෙනි, මෙ කරුණු පස උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ යයි.
සද්ධම්මවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
සද්ධම්මනියාම සූත්‍ර තුණෙක, සද්ධම්මසම්මෝස සූත්‍ර තුණෙක, දුක්කථා සූත්‍රය, සාරජ්ජ සූත්‍රය, උදායී සූත්‍රය, දුප්පටිවිනෝදය සූත්‍රය දැයි දසයෙකි.