5. 4. 1. 9.
[උදායී සූත්රය]
9. මා විසින් මෙසෙයින් අසන ලද: එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහිපිරිසක් විසින් පිරිවරණ ලද්දාහු ධර්ම දේශනා කරමින් හුන්නාහු වෙත්. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මහත් ගිහිපිරිස් විසින් පිරිවරණ ලදු වැ දම් දෙසමින් හුන් ආයුෂ්මත් උදායී තෙරුන් දුටහ. දැක භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහි පිරිස් විසින් පිරිවරණ ලද්දාහු දම් දෙසත්හ”යි.
ආනන්දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ මැ යි. ආනන්දයෙනි, පරහට ධර්මදේශනා කරණුවහු විසින් තමා තුළ ධර්ම පසක් එළවාගෙණ මෙරමාහට දම් දෙසිය යුතු. කවර පසෙක යත්:
‘ආනුපූර්වී (පිළිවෙළ) කථාව කියන්නෙමි’ යි පරහට ධර්මය දෙසිය යුතු. ‘පර්ය්යාය (කරුණු) දක්වන්නෙම් කථා කියන්නෙමි’ යි පරහට දම් දෙසිය යුතු. ‘අනුකම්පා පිණිස ධර්මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘ලාභාපේක්ෂා නැතියෙම් ධර්මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘තමා හා මෙරමා හා නො ඝටා ධර්මකථා කියන්නෙමි’යි පරහට ධර්මය දෙසිය යුතු.
ආනන්දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ. ආනන්දයෙනි, පරහට ධර්මදේශනා කරන්නහු විසින් මෙ ධර්ම පස තමා තුළ එළවා පරහට ධර්මය දෙසිය යුතු යි.
5. 4. 1. 10.
[දුප්පටිවිනෝදය සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ කරුණු පසෙක් උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. කවර පසෙක යත්:
රාගය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. ද්වේෂය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. මෝහය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ප්රතිභානය දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ගමික චිත්තය දුකසේ දුරැලිය හෙන්නේ ය.
මහණෙනි, මෙ කරුණු පස උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ යයි.
සද්ධම්මවර්ගය පළමුවැනි යි.
එහි උද්දානය:
සද්ධම්මනියාම සූත්ර තුණෙක, සද්ධම්මසම්මෝස සූත්ර තුණෙක, දුක්කථා සූත්රය, සාරජ්ජ සූත්රය, උදායී සූත්රය, දුප්පටිවිනෝදය සූත්රය දැයි දසයෙකි.
2. ආඝාත වර්ගය
5. 4. 2. 1.
[පළමුවන ආඝාතපටිවිනය සූත්රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්වප්රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්රිය (ත්රික චතුෂ්කධ්යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි උපේක්ෂාව (චතුර්ත්ථධ්යානවශයෙන්) වැඩිය යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, අසති අමනසිකාරය (නොසිහි නො මෙනෙහි කිරීම) එ පුද්ගලයා කෙරෙහි එළැවියැ යුතුයි. මෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කර්මස්වකතාව මෙනෙහි කළයුතු: “මේ ආයුෂ්මත් කර්මස්වක (කර්මය ස්වකීය කොට ඇත්තේ) කර්මදායාද (කර්මය විසින් දෙන ලද විපාක කොටස ගන්නේ) වෙයි. කර්මයෝනි (කර්මය ම හේතු කොට ඇත්තේ) වෙයි. කර්මබන්ධු වෙයි. කර්මප්රතිසරණ (කර්මය පිළිසරණ කොට ඇත්තේ) වෙයි. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්මයක් කෙරේ නම්, එයට දායාද (විපාක කොටස ගන්නෙක්) වන්නේ ය” යි. මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
මහණෙනි, යම් අරමුණෙක මහණහට උපන් ආඝාතය සර්වප්රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ ඒ ආඝාතපටිවිනය පස යි.
5. 4. 2. 2.
[දෙවැනි ආඝාතපටිවිනය සූත්රය]
[සැවැත්නිදාන යි]
12. එ කල්හි ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්ෂූන් ඇමැතූ සේක. ‘ඇවැත්නි’ යි එ මහණහු ආයුෂ්මත් ශාරීපුත්ර තෙරුන්හට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ: