5. 4. 1. 7.
[දුක්කථා සූත්රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි. කවර පස්දෙනකුන්ගේ ය යත්:
මහණෙනි, ශ්රද්ධාරහිතයාට ශ්රද්ධාකථා දුෂ්කථා ය. දුසිල්හට ශීලකථා දුෂ්කථා ය. අල්පශ්රැතයාහට බහුශ්රැතභාවය පිළිබඳ කථා දුෂ්කථා ය. මසුරුහට ත්යාගකථා දුෂ්කථා ය. දුෂ්ප්රාඥහට ප්රඥාකථා දුෂ්කථා යි.
මහණෙනි, කවර හෙයින් අශ්රද්ධයාහට ශ්රද්ධාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, ශ්රද්ධා නැතියේ ශ්රද්ධා පිළිබඳ කථාව කරණු ලබත් ම කෝප විසින් ලැගෙයි, කිපෙයි, ව්යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා නො සතුට හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ වනාහි එ ශ්රද්ධාසම්පද් තමා කෙරෙහි නො මැ දක්නේ ය. එ කරුණු කොට ගෙන ප්රීතිප්රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් අශ්රද්ධයාහට ශ්රද්ධාකථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, කවර හෙයින් දුසිල්හට ශීලකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුශ්ශීලයා ශීලකථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටුනේ ය, කෝපය හා ද්වේෂය හා අප්රත්යය හා පාළ කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ එ සීල සම්පදාව තමා කෙරෙහි නො දක්නේ ය. එ හේතුයෙන් ප්රීතිප්රමෝදය නො ද ලබනේ ය. එහෙයින් දුශ්ශීලයාට ශීලකථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, කවර හෙයින් අල්පශ්රැතයාහට බහුශ්රැතභාවය පිළිබඳ කථාව දුෂ්කථා වේය යත්: මහණෙනි, අල්පශ්රැතයා බහුශ්රැතභාවය පිළිබඳ කථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්යාපාදයට පැමිණෙයි, දළව නැගීසිටී, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පාළ කෙරෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශ්රැතසම්පත් තමා තුළ නො ම දක්නේය. එ නිදාන කොට ප්රීතිප්රමෝදය ද නො ලබන්නේ ය. එහෙයින් අල්පශ්රැතහට බහුශ්රැත්ය කථාව දුෂ්කථායෙකි.
මහණෙනි, කවර හෙයින් මත්සරිහට ත්යාගකථාව දුෂ්කථා වේ ය යත්: මහණෙනි, මත්සරියා ත්යාගකථාව කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්යාපාදයට වැටෙයි, දළ ව නැගීසිටී, කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, මත්සරි එ ත්යාගසම්පද් තමා කෙරෙහි නො ම දක්නේය. ඒ නිදාන කොටගෙන ප්රීතිප්රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් මත්සරිහට ත්යාගකථා දුෂ්කථා යි.
මහණෙනි, කවර හෙයින් දුෂ්ප්රාඥයාහට ප්රඥාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුෂ්ප්රාඥ තෙමේ ප්රඥාකථා කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්යාපාදයට පැමිණෙයි, දළ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ප්රඥාසම්පත් තමා කෙරෙහි ලා නො ම දක්නේ ය. එ නිදාන කොට ගෙණ ප්රීතිප්රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් දුෂ්ප්රාඥයාහට ප්රඥාකථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු නිසා (වැටෙන) කථාව දුෂ්කථා වෙයි.
මහණෙනි, ඒ ඒ පුඟුල්හු නිසා පුඟුලන් පස්දෙනකුන්ගේ කථාව සුකථායෙක් වෙයි. කවර පස්දෙනකුනට ය යත්:
මහණෙනි, සැදැහැතියහුට ශ්රද්ධාකථාව සුකථායෙක. සිල්වත්හට ශීලකථාව සුකථායෙක. බහුශ්රැතයාහට බාහුශ්රැත්යකථාව සුකථායෙක. ත්යාගීහට ත්යාගකථාව සුකථායෙක, ප්රඥාවත්හට ප්රඥාකථාව සුකථායෙකි.
මහණෙනි, කවරහෙයින් සැදැහැතියහුට ශ්රද්ධාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සැදැහැතියේ ශ්රද්ධාකථාව කරණු ලබත් ම කෝප විසින් නො ලැගෙයි, නො කිපෙයි, ව්යාපාදයට නො පැමිණෙයි, දළව නැග නො සිටී. කෝප හා ද්වේෂ හා අප්රත්යය හා පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙම එ සිල්සපුව තමා තුළ ම දක්නේ ය. එ හේතුකොට ගෙණ ප්රීතිප්රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ශ්රද්ධාවත්හට ශ්රද්ධාකථාව සුකථායෙකි.
මහණෙනි, කවර හෙයින් සිල්වත්හට ශීලකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සිල්වත් තැනැත්තේ ශීලකථා කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝපය හා ද්වේෂය හා අප්රත්යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශීලසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්රීතිප්රමෝදය ද ලබන්නේ ය. එහෙයින් සිල්වත්හට ශීලකථාව සුකථායෙකි.