5. 4. 1. 6.
[තුන්වැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂයට අතුරුදන් වීමට වැටෙති. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුහු උපිළිවෙළින් උගන්නා ලද සූත්‍රාන්තය උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට ප්‍රගුණ කරත්. මහණෙනි, උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජන ඇති පාළි සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මෙ පළමු කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, භික්‍ෂූහු දුර්වචභාවකර ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු දුර්වච වෙති. නො සහනු වූවාහු අනුසසුන් පැදකුණින් නො ගන්නාහු වෙත්. මහණෙනි, මෙ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
තවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් බොහෝ ඇසූපිරූ තැන් ඇතියාහු ආගතාගම වූවාහු ධර්‍මධර විනයධර මාතෘකාධර වූවාහු වෙත් නම්, ඔහු සකස් කොට සූත්‍රාන්තය මෙරමාහට වනපොත් නො කරවත්. ඔවුන් ඇවෑමෙන් සූත්‍රාන්තය සුන්මුල් ඇති වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
තවද මහණෙනි, තෙර මහණහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු වෙත්. ශාසනය ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පූර්‍වාඞ්ගම වන්නාහු ප්‍රවිවේකයෙහි හැරපියූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්ත වූ විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා අනධිගත ධර්‍මයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කාරය සඳහා වැර නො වඩනාහ. ඔවුන්ගේ පශ්චිම ජනතාව ද දෘෂ්ටානුගතියට පැමිණෙයි. එ ජනතාව ද සිවුපස බහුල කොට ඇත්තී සස්න ලිහිල් කොට ගත්තී අවක්‍රමණයෙහි (පරිහානියෙහි) පෙරට ව යන්නී ප්‍රවිවේකයෙහි හැරපියූ වැර ඇත්තී වෙයි. අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර නො අරඹයි. මහණෙනි, මේ සතරවන ධර්‍මය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුධන්වීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, සඟහු බිඳුනාහු වෙත්. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි අන්‍යෝන්‍යයනට ආක්‍රෝෂයෝ ද වෙති. අන්‍යෝන්‍යයනට පරිභවයෝ ද වෙති. උනුනට වටා බිණුම් ද වෙති. අන්‍යෝන්‍යයනට පරිවර්‍ජනයෝ ද වෙත්. එහි ලා නො පහන් වූවෝ ද නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන‍්ගේ අන්‍යථාත්‍වය (කළකිරීම) වෙයි. මෙ පස්වන ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය සඳහා අන්තර්‍ධානය සඳහා වැටෙයි.
මහණෙනි, මෙ පස් දහම්හු සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ.
මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නො වීම පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු මොනොවට උගන්නා ලද සූත්‍රාන්තය මොනොවට යොදන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට පිරිවහත්. මහණෙනි, මැනැවින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුත් සූත්‍රාන්තයාගේ අර්‍ත්‍ථය ද ප්‍රණීත වෙයි. මහණෙනි, මේ ප්‍රථමධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය සඳහා අප්‍රමෝෂය සඳහා අතුරුදන් නො වීම සඳහා වැටෙයි.
තවද මහණෙනි, මහණහු සුවචභාවය කරණ ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු සුවච වෙති. ඉවසන්නාහු පැදකුණෙන් අනුශාසනය පිළිගන්නාහු වෙත්. මහණෙනි, මේ ද්විතීය ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතී.
තවද මහණෙනි, බහුශ්‍රුත වූ ආගතාගම වූ ධර්‍මධර - විනයධර - මාතෘකාධර වූ යම් ප්‍රසිද්ධ භික්‍ෂුහු වෙත් නම්, ඔහු සකස් කොට මෙරමාහට දහම් කියවති. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය සුන් මුල් ඇතියේ නො වෙයි. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තෙවන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස වැටෙයි.