5. 4. 1. 5.
[දෙවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදහන පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ධර්‍මය ප්‍රගුණ නො කරත්. මහණෙනි, මේ ප්‍රථම ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන්වීම පිණිස පවත්නේය.
තවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට නො දෙසන්නාහ. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේය.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය පරහට විස්තර විසින් වනපොත් නො කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන පිණිස පවත්නේය.
තවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තර විසින් හැදෑරීම් නො කෙරෙත්. මහණෙනි, මෙ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ නො කරත්, අනුවිචාරණ නො කරත්. සිතින් අනුප්‍රේක්‍ෂණ නො කරත්. මහණෙනි, මෙ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිය අන්තර්‍ධානය පිණිස පවත්නේය.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.
මහණෙනි, මේ කාරණයෝ පස් දෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවනු පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ශාස්තෘධර්‍මය ප්‍රගුණ කරත්. මහණෙනි, මේ පළමුවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අන්තර්‍ධාන නො වනු පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට දෙසති. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නේය.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට වනපොත් කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙති. මහණෙනි, මේ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කරත්, අනුවිචාරණය කරත්, සිතින් අනුප්‍රේක්‍ෂා කරත්. මහණෙනි, මේ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
මහණෙනි, මෙ පස්දෙන සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.
5. 4. 1. 6.
[තුන්වැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂයට අතුරුදන් වීමට වැටෙති. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුහු උපිළිවෙළින් උගන්නා ලද සූත්‍රාන්තය උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට ප්‍රගුණ කරත්. මහණෙනි, උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජන ඇති පාළි සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මෙ පළමු කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, භික්‍ෂූහු දුර්වචභාවකර ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු දුර්වච වෙති. නො සහනු වූවාහු අනුසසුන් පැදකුණින් නො ගන්නාහු වෙත්. මහණෙනි, මෙ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
තවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් බොහෝ ඇසූපිරූ තැන් ඇතියාහු ආගතාගම වූවාහු ධර්‍මධර විනයධර මාතෘකාධර වූවාහු වෙත් නම්, ඔහු සකස් කොට සූත්‍රාන්තය මෙරමාහට වනපොත් නො කරවත්. ඔවුන් ඇවෑමෙන් සූත්‍රාන්තය සුන්මුල් ඇති වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.