5. 2. 3. 9.
[තතියඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මේ අනාගතභය පස් දෙනෙක් දැන් නූපන්නාහු මතුයෙහි උපදිති. ඔහු තොප විසින් දතයුතු වෙති. දැන ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා වැර වැඩිය යුතු ය. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, අනාගතකාලයෙහි නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති භික්‍ෂුහු වෙති. නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති ඔහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු නො බැවූ කය ඇතියාහු නො බැවූ සිල් ඇතියාහු නො බැවූ සිත් ඇතියාහු නො බැවූ පැණ ඇතියාහු ම වෙති. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වූ ම ඔහු ද අනුන්, උපසපන් කරත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්දූෂණයෙන් (ධර්‍මපරිහාණියෙන් ශමථවිදර්‍ශනා ධර්‍ම ගැබ්නොගැණීමෙන්) විනය සඤුෂණ ය (විනය පරිහාණිය වෙයි. විනයසන්‍දූෂණයෙන්) ධර්‍මසන්දූෂණ වෙයි. මහණෙනි, දැන් නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් දතයුතු ය දැන ද එ ප්‍රහාණ කරණු පිණිස ව්‍යායාම කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි මහණහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු අන් මහණුනට නිස දෙත්. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු ද අන් මහණුනට නිස දෙත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැනු නූපන් මේ දෙවන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු යි.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. ඔහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන්නාහු ම අභිධර්‍මකථා හා ඥානප්‍රතිසංයුක්ත කථා කියන්නාහු කෘෂ්ණධර්‍මයට (උපාරම්භලාභසත්කාරපර්‍ය්‍යෙෂණ වශයෙන් අකුශලයට) බැස ගන්නාහු නො පිළිවිදුනාහ. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ තුන් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වන්නාහු ම ඔහු තථාගතභාෂිත වූ ගැඹුරු පෙළ ඇති, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තරධර්‍මදීපක, ශූන්‍යතාප්‍රතිසංයුක්ත, යම් ඒ සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි නො කෙරෙත්. කන් රුකොට නො ගණිත්. දැනුමට සිත් නො එළවත්. එ දහම් උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට නො සිතත්. කවීන් විසින් ගොතන ලද, කවියනට අයත්, විසිතුරු අකුරු ඇති, විසිතුරු වියඳුන් ඇති සස්නෙන් බැහැර ව ගියා වූ බැහැරිසව්වන් විසින් කියු යම් සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි කෙරෙත් කන් රුකොට ගණිත්. දැනුමට සිත් එළවත්. එ දහම් ද උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට සිතත්. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ සතර වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.
තවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය වන, අභාවිතශීල වන, අභාවිතචිත්ත වන, අභාවිතප්‍රඥ වන, එ ස්ථවිරභික්‍ෂූහු සිවුපස බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු නීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පුරෝගාමී වන්නාහු ප්‍රකර්‍ෂවිවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නාහ. ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ පශ්චිමජන ද සිවුපස බහුල කොට ඇත්තේ, සස්න ලිහිල් කොට ගත්තේ, අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වූයේ, ප්‍රවිවේකයෙහි හළ වැර ධුර ඇතියේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වේ. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මෙ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.
මහණෙනි, මෙ කල නූපන් මේ පඤ්ච අනාගතභය මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුහ. පිළිවිද ද ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු යි.
5. 2. 3. 10.
[චතුත්‍ථඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, දැන් නූපන් මේ අනාගත භය පස් දෙනෙක් මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතු වෙති. පිළිවිදත් ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, අනාගතකාලයෙහි මහණහු සිවුරෙහි කල්‍යාණකාම වෙත්. චීවරයෙහි කල්‍යාණකාම වන ඔහු පාංශුකූලිකත්‍වය හැරපියත්. අරණ්‍යයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්ත සෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කරත්. සිවුරු හේතු කොට ද නන් වැදෑරුම් නොමනා අන්‍වෙෂණයට පැමිණෙත්. මහණෙනි, මෙ කල නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.