3. අනාගතභය වර්‍ගය
5. 2. 3. 1.
[පඨමචේතෝවිමුත්තිඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් භාවිත බහුලීකාත වූවාහු (මාර්‍ගඵලසමාධි සඞ්ඛ්‍යාත) චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද, (මාර්‍ගඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනාත්මානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණ සංඥාව තමා තුළ මනාව පිහිටියේ ම වෙයි.
මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
මහණෙනි, මහණ යම් කලක් පටන් කොට චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ ද, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු (උපුටා හළ වටමුල් අවිදු නමැති කනයම ඇතියෙකැයි දු), ‘සඞ්කිණ්ණ පරිඛ’ය යි දු (සුගිදුගිසසර නමැති පරිඛා වනසා ලූයේ යයි දු), ‘අබ්බූළ්හෙසික’ ය යි දු (උපුටා හළ තෘෂ්ණා නමැති ඉඳුකිල් ඇතියේ ය යි දු), ‘නිරග්ගළ’ ය යි දු (උදුරා හළ නීවරණ සඞ්ඛ්‍යාත අගුළු ඇතියේ ය යි දු), ආර්‍ය්‍ය වූයේ හෙළා ලූ මානධ්වජ ඇතියේ ය යි දු, හෙළා ලූ (ස්කන්‍ධ අභිසංස්කාර ක්ලේශ සඞ්ඛ්‍යාත) බර ඇතියේ ය යි දු, ‘විසංයුක්ත’ (චතුරොඝයෙන් වෙන් ව සිටියේ) ය යි දු කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ නම් ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ හට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් වූවා, මුදුන්සුන් තලක් සෙයින් කළ අවාස්තුකභාව ඇත්තී, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ‘සංකිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවාඛ්‍ය ඵලයට අර්‍හ වන ජාතිසංසාරය (කර්‍මාභිසංස්කාරය) ප්‍රහීණ වෙයි ... මහණෙනි, මෙසේ මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ‘නිරග්ගළ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවාස්තුකෘත වූවාහු කළ අභාව ඇත්තාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ මහණ ‘නිරග්ගළ’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට (පඤ්චස්කන්‍ධය ‘මම’ ය ගත්) අස්මිමාන ය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කළ අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ.
5. 2. 3. 2.
[දුතියචේතෝවිමුත්තිඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු චිත්තවිමුක්තිඵල කොට ඇතියාහු චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
අනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා යි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු, චේතෝවිමුක්තිය ඵල කොට ඇතියාහු ද චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද ප්‍රඥාමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
මහණෙනි, යම් කලක් පටන් කොට මහණ චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ නම්, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු ‘සඞ්කිණ්ණපරඛ’ ය යි දු ‘අබ්බූළ්හෙසික’ ය යි දු ‘නිරග්ගළ’ ය යි දු ආර්‍ය්‍ය වූයේ පන්නද්ධජ වූයේ පන්නභාර වූයේ ‘විසංයුත්ත’ ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවදායක ජාතිසංසාරය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අභාව ඇත්තී මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.