5. 2. 3. 8.
[දුතියඅනාගතභය සූත්රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, මේ පඤ්ච අනාගතභයක් දක්නා මහණහු විසින් අප්රාප්තවිශේෂයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතවිශේෂයාගේ සාක්ෂාත්කෘතිය පිණිස, වාස කරන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: “මම මෙ කල දහරයෙම් තුරුණුයෙම් මනා කළු කෙහෙ ඇතියෙම් සොඳුරුයොවුනෙන් සමන්වාගතයෙමි. යම් හෙයෙකින් මේ කය ජරාව පහස්නේ නම්, එ බඳු සමයෙක් ඇත් මැ යි. ජීර්ණ වූ ජරායෙන් මැඬුනහු විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ මැ යි.
අරන් හා වානප්රස්ථ හා ප්රාන්තසෙනසුන් හා සෙවුනට සුකර නො වේ. ඒ අනිටු අකාන්ත අමනාප ධර්මය ඇසිල්ලකින් මා වෙත එයි. (එයට පෙරම-යම් තාක් එ නො එළඹේ ද ඒ තාක්) මම අප්රාප්තයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කෘතිය පිණිස වැර අරඹම් මැයි - යම් ධර්මයෙකින් සමන්වාගත වූ මම් දිරූයෙම් නමුදු සැපසේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ ප්රථම අනාගතභය දක්නා මහණ විසින් අප්රාප්තයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස අප්රමත්ත ව ආතාපී ව ප්රහිතාත්ම ව වාස කරන්නට නිසි ම ය.
තවද මහණෙනි, මහණ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: “දැන් මම් අල්පාබාධයෙම් අල්පාතඞ්කයෙම් නානිශීත, නාත්යුෂ්ණ, මධ්යම, ප්රධන්වීර්ය්යයට ක්ෂම වන, සම ව පස්නා කර්මජතේජෝධාතුයෙන් සමන්වාගතයෙම් වෙමි. යම් හෙයෙකින් මෙ කය ව්යාධිය පහස්නේ නම්, එ බඳු කලෙක් ඇත් මැ යි මා ව්යාධිගත ව ව්යාධියෙන් මඬනාලදහු විසින් බුදුරජුන්ගේ සස්න කරනට සුකර නොවේ මැ යි. අරන් හා වානප්රස්ථ හා ප්රාන්ත සෙනසුන් හා සෙව්නහ සුකර නො වේ. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්මය මා කර මතු එයි. (එයට පෙර) මම අප්රාප්තයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කෘතිය පිණිස, වැර අරඹම් මැ යි. යම් ධර්මයෙකින් සමන්වාගත වූයෙම් ව්යාධියෙන් පෙළුනෙම් නමුදු පහසු සේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ දෙවන අනාගතභය දක්නා මහණහු විසින් අප්රාප්තයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස අප්රමත්ත ව ආතාපී ව ප්රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.
තවද මහණෙනි, මහණ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: “මෙ කල භික්ෂාසම්පන්න වෙයි, සමාද්ධ ශස්ය වෙයි, සුලභ පිණ්ඩ වෙයි, භික්ෂාපාත්රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර වෙයි. යම් හෙයෙකින් දුර්භික්ෂ හා දුශ්ශස්ය හා දුර්ලභ පිණ්ඩ හා වේ නම්, භික්ෂාපාත්රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර නො වේ නම්, එ බඳු සමයෙක් වෙයි. දුර්භික්ෂයෙහි වනාහි මනුෂ්යයෝ සුභික්ෂස්ථාන කරා සඞ්ක්රමණ කෙරෙත්. එ තන්හි සඞ්ගණිකවිහාරය ආකීර්ණවිහාරය (උනුන් හා මුසු විහරණ) වෙයි. ගණසඟ විහරණය මුසුවිහරණය ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. අරන් හා වානප්රස්ථ හා ගැඹුරු වල් සෙනසුන් හා සෙව්මට සුකර නො වෙයි. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්මය මා කරා වහා එයි. (එයට පෙර) මම අප්රාප්තයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස, වැර අරඹම් මැයි - යම් ධර්මයෙකින් සමන්වාගතයෙම් දුර්භික්ෂයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්රාප්තයාගේ ප්රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස අප්රමත්ත ව ආතාපී ව ප්රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.