5. 2. 3. 7.
[පඨමඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, මේ පස් අනාබියක් මොනොවට දක්නා ආරණ්‍යක භික්‍ෂුහු විසින් අප්‍රාප්ත (ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵලප්‍රභේද) විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය සඳහා, අප්‍රත්‍යක්‍ෂ විශේෂයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට යැවූ සිත ඇති ව වසන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආරණ්‍යක මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙ කල අරණෙහි එකලා වූයෙම් ම වෙසෙමි. එකලා ව ම අරණෙහි වාස කරණ මා සර්‍පයෙක් හෝ ඩස්නේ ය. නුහුසුයෙක් හෝ මා ඩස්නේ ය, පත්වහයෙක් හෝ මා ඩස්නේ ය, එයිනා මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරායෙක් වෙයි. ඒකාන්තයෙන් නො පත් විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගත විශේෂයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘත විශේෂයාගේ සාක්‍ෂාත්කරණය සඳහා, (ද්විවිධවීර්‍ය්‍යයෙන්) වැර අරඹමි”යි. මහණෙනි, මේ ප්‍රථම අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් නො පත් විශේෂයාගේ ලාභය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ පසක් කිරීම පිණිස නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් කෙරෙහි මෙහෙයු සිත් ඇති ව වසන්නට නිස්ස.
තවද මහණෙනි, වනවැසි මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙ කල්හි එකලා ව ම වෙනෙහි වසමි. එකලා ව ම වෙනෙහි වසන මම පැකිල හෝ හෙන්නෙමි. මා වැළඳු බත හෝ (අජීර්‍ණකාදි වශයෙන්) විකෘතියට පත් වන්නේ ය. මාගේ පිත හෝ කිපෙන්නේ ය. මාගේ සෙම් හෝ කිපෙන්නේ ය. මාගේ (සන්‍ධිබන්‍ධන සිඳුනා) ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙන්නාහ. එයින් මාගේ කලුරිය වෙයි. එ මට අන්තරාය වෙයි. මම නො ලත් වෙසෙස්හුගේ ලාභය සඳහා, අනධිගත වෙසෙස්හුගේ අධිගම සඳහා, අසාක්‍ෂාත්කෘත වෙසෙස්හුගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර වඩන්නෙම් මැ”යි. මහණෙනි, මෙ දෙවන අනාගතභය දක්නා වනවැසි මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, පසක් නො කරණ ලද විශේෂයාගේ පසක් කිරීම පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි ය.
තවද මහණෙනි, වනවැසි මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙකල වනයෙහි එකලා වූයෙම් වසමි. වනයෙහි එකලා ව වසන මම සිංහයකු සමඟ හෝ ව්‍යාඝ්‍රයකු සමඟ හෝ දිවියකු සමඟ හෝ වලසකු සමඟ හෝ කරබානා වලසකු සමඟ හෝ ය යි මෙසේ ව්‍යාලයන් හා ද එකතු වන්නෙමි. ඔහු මා දිවි ගළවන්නාහ. එයින් මාගේ කලුරිය වෙයි. එ මාහට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි ය.
තවද මහණෙනි, ආරණ්‍යක භික්‍ෂු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: “මම මෙ කල වනයෙහි එකලායෙම් වසමි. එකලායෙම් වෙනෙහි වසන්නෙම් කළ සොරකම් ඇති හෝ නො කළ සොරකම් ඇති සොරුන් හා එකතු වෙමි. ඔහු මා දිවි ගළවන්නාහ. එයින් මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් මම අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹමි”යි. මහණෙනි, මේ සතර වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසිමැ යි.
තවද මහණෙනි, ආරණ්‍යක භික්‍ෂු මෙසේ නුවණින් මෙනෙහි කරයි: “මම මෙ කල එකලායෙම් අරණෙහි වෙසෙමි. අරන්හි කැකුළු යක්‍ෂාදි අමනුෂ්‍යයෝ ඇත් ම ය. ඔහු මා දිවියෙන් ගළවන්නාහ. ඉන් මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් මම් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්ක්‍රියාව පිණිස වැර අරඹමි”යි. මහණෙනි, මේ පස් වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් ක්‍රියාව පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි මැ යි.
මහණෙනි, මෙ පඤ්ච අනාගතභය දක්නා ආරණ්‍යක භික්‍ෂුහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්ක්‍රියා පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.
5. 2. 3. 8.
[දුතියඅනාගතභය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, මේ පඤ්ච අනාගතභයක් දක්නා මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වාස කරන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම මෙ කල දහරයෙම් තුරුණුයෙම් මනා කළු කෙහෙ ඇතියෙම් සොඳුරුයොවුනෙන් සමන්‍වාගතයෙමි. යම් හෙයෙකින් මේ කය ජරාව පහස්නේ නම්, එ බඳු සමයෙක් ඇත් මැ යි. ජීර්‍ණ වූ ජරායෙන් මැඬුනහු විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ මැ යි.