5. 2. 3. 6.
[දුතියයොධාජීවූපම සූත්රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, ලෝකයෙහි විද්යමාන වන මේ යුද්ධාජීවිහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනාව්යුහසංවිධාන විසින් සන්නිවිෂ්ට වූ සඞ්ග්රාම භූමියට වදනේ ය. හේ එ සඞ්ග්රාමයෙහි යුද විසින් උත්සාහ කෙරෙයි. ව්යායාම කෙරෙයි. සතුරෝ එසේ උත්සාහ කරණ ව්යායාම කරණ තෙල පුඟුල් නසත්, මරණයට පමුණුවත්. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්යමාන වන මේ ප්රථම යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපස මුළුදුන් සඞ්ග්රාමභූමියට වදනේ ය. හේ එ සඞ්ග්රාමයෙහි උත්සාහ කරයි. ව්යායාම කරයි. පරහු ඒ උත්සාහ කරණ, ව්යායාම කරණ, තෙල (යෝධාජීව) පුඟුල් විදිත්. (පරහු) තෙල පුඟුල් (සියසෙන් කරා) හැර ගෙණ යත්. හැර ගෙණ ගොස් ඥාතීන් වෙත පමුණුවත්. (ඥාතීන් විසින් සියගෙට හෝ තෙසු ඥාතීන් වෙත) ගෙණ යනු ලබන හේ ඥාතීන් වෙත නො පැමිණ ම අතුරුමඟ කලුරිය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්යමාන වන මේ දෙවන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙන දෙපසින් මුළුදුන් සඞ්ග්රාමභූමියට බස්නේ ය. හේ එ සඞ්ග්රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්යායාම කරයි. සතුරහු උත්සාහ කරණ ව්යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තෙල යෝධාජීවයා හැරැගෙණ යත්. හැරැගෙණ ගොස් ඥාතීන් කරා පමුණුවත්. ඥාතීහු තෙල යෝධාජීවයා උපස්ථාන කරත්. මෙහෙයින වටත්. හේ නෑ සබඳුන් විසින් වටනු ලබනුයේ, මෙහෙයින් වටනු ලබනුයේ එ ආබාධයෙන් ම කලුරිය කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්යමාන වන මේ තෙවන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් කඩු හා පලින් ගෙණ දුනු හා හියොවුරු සදාගෙණ උභයසෙනායෙන් මුළුදුන් සඞ්ග්රාම භූමියට බස්නේ ය. හෙ සඞ්ග්රාමයෙහි උත්සාහ කරයි. ව්යායාම කරයි. අමිත්රයෝ ඒ උත්සාහ කරණ ව්යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තුලුන් හැරැගෙණ යෙත්. හැරැගෙන ගොස් නෑයනට දක්වා දෙත්. නෑ සබඳහු තුලුනට උවටැන් කරත්. මෙහෙ කරත්. හෙ නෑයන් විසින් වටනු ලබන්නේ මෙහෙ කරණු ලබන්නේ එ ආබාධයෙන් නැඟෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්යමාන වන මේ සතර වන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපසින් මුළුදුන් සඞ්ග්රාමයට බස්නේ ය. හේ එ සඞ්ග්රාමය දිනා දුනු සඞ්ග්රාම ඇතියේ එ ම සඞ්ග්රාමභූමියෙහි සතුරන් වැඩ වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්යමාන වන මේ පස් වන යුද්ධොපජීවි යි.
මහණෙනි, ලෝකයෙහි විද්යමාන වන මේ යෝධාජිවයෝ පස්දෙනහ.
මහණෙනි, එසෙයින් ම භික්ෂූන් අතුරෙහි විද්යමාන වන මේ යෝධාජීවයන් බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් අන්යතර ග්රාමයක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ නො රක්නා ලද ම කයින් නොරක්නා ලද වචනයෙන් නොරක්නා ලද සිතින් නො එළඹ සිටි කාගියා සිහියෙන් අසංවෘත ඉන්ද්රියයෙන් පිඬු පිණිස වදනේ ය. හේ එහි වසඩක් නො වසා හැඳි හෝ වසඩක් නො වසා පෙරෙවි හෝ මාගමක් දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක රාගය ඔහුගේ (ශමථ-විදර්ශනා) සිත (අරමුණින්) බැහැරලයි. රාගය විසින් අනුද්ධස්ත සිතින් ශික්ෂාප්රත්යාඛ්යාන නො කොට දුබල බව පාළ නො කොට මෙවුන්දම් සෙවුනේ ය.
මහණෙනි, එ යෝධාජීව යම් පරිද්දෙකින් කඩු පලින් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ ව්යුඪසඞ්ග්රාමයට වදනේ ද, හෙ එ සඞ්ග්රාමයෙහි උත්සාහ කෙරේ ද, ව්යායාම කෙරේ ද, වෛරීහු උත්සාහ කරණ ව්යායාම කරණ යෝධාජීවයා නසත්, දිවි ගළවත්. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු උපමා ඇති කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්යමාන වන මේ ප්රථම යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ අන්යතර ග්රාමයක් හෝ නිගමයක් හෝ ඇසුරු කොටගෙන වාස කරයි. හේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නාලද ම කයින් නොරක්නා ලද ම වචනයෙන් නොරක්නා ලද ම සිතින් නො එළැවූ (කාගියා) සිහියෙන් අසංවෘත ඉන්ද්රියයෙන් යුක්ත ව පිඬු පිණිස වදනේ ය. හේ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක් දක්නේය. නො සකස් කොට හැඳියා වූ හෝ නො සකස් කොට පෙරෙවියා වූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ ශමථවිදර්ශනාචිත්තය (අරමුණෙන්) නෙරාලයි. රාගානුද්ධස්තචිත්තයෙන් යුත් හේ කයින් දැවේමය. සිතින් දැවේමය. ඔහට මෙබඳු සිතෙක් වෙයි: මම ආරාමයට ගොස් “ඇවැත්නි, මම රාගයෙන් රක්ත වූයෙමි. (සර්පදෂ්ටයකු සෙයින්) රාගයෙන් මඩනාලදුයෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. දුර්වලභාවය පාළ කොට ශික්ෂාප්රත්යාඛ්යාන කොට හුනු බවට වැටෙමි යි භික්ෂූන්ට කියන්නෙම් නම් මනා මැනු”යි. හේ ආරාමයට යනුයේ අරමට නො පැමිණ ම අතරමඟ ශික්ෂායෙහි දෞර්වල්යය පාළ කොට ශික්ෂාප්රත්යාඛ්යාන කොට හුනුබවට වැටෙයි.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනා වින්යාස ඇති යුදබිමට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්යායාම කෙරෙයි. උත්සාහ කරණ ව්යායාම කරණ තුලුන් සතුරෝ විදිත්. විත්කෑ තුලුන් සියසෙන් කරා ගෙණ යත්. ඉන් ඉවත් කොට ගෙණ නෑයන් වෙත පමුණුවත්. හෙ නෑයන් විසින් (සියගෙට හෝ තෙසු නෑයන් වෙත) ගෙණ යනු ලබන්නේ ඥාතීන් වෙත නො පැමිණ ම අතරමඟ කලුරිය කෙරෙයි ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙබඳුවූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.