5. 2. 3. 5.
[පඨමයෝධාජීවූපම සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, ලොව්හි මේ යොධාජීවයෝ පස් දෙනෙක් විද්යමාන වෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් (ඇත් අස් ආදීන්ගේ පාපහරින් බුන් බිමින් නැඟි) රජස් ස්කන්ධ ම දැක ගැලෙයි. (නොසැලී සිටිනු නොහැකි වෙයි.) වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ බඳු වූ ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්යමාන වන මේ ප්රථම යුද්ධොපජීවියා වෙයි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්ධය (දැක ද) ඉවසන්නේ ය. වැලිත් (ඇත් අස් පිටෙහි හෝ රියෙහි නැඟු) ධ්වජාග්රය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්යමාන වන මේ දෙවන යුද්ධොපජීවි යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්ධය ඉවසන්නේ ය. ධ්වජාග්රය ම ඉවසන්නේ ය. එහෙත්, (ඇත්අස්රියසෙන් ආදීන්ගේ) මහාශබ්දය ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. සඞ්ග්රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්යමාන වන මෙ තුන් වන යුද්ධොපජීවි යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්ධය ඉවසන්නේ ය. ධ්වජාග්රය ඉවසන්නේ ය. උස්සාදනය (ඇත් අස් ආදීන් ගේ මහහඬ) ඉවසන්නේ ය. වැලිදු සපැමිණි ස්වල්ප ප්රහාරයෙහිදු විඝාතයට යෙයි. විකෘතියට පත් වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්යමාන වන මේ සතර වන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් රජස්ස්කන්ධය ඉවසන්නේ ය. ධ්වජාග්රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. සම්ප්රහාරය ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්රාමය දිනා දිනූ සඞ්ග්රාම ඇතියේ එ ම සඞ්ග්රාමශීර්ෂයෙහි (සත්දිනක් පමණ ඉසුරු සුඛ විඳිමින්) වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මේ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්යමාන වන මේ පස් වන යෝධාජීව යි.
මහණෙනි, මේ යොධාජීවයෝ පස් දෙන ලොව්හි විද්යමාන වෙත්.
මහණෙනි, එසෙයින් ම භික්ෂූන් කෙරෙහි විද්යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ රජස්ස්කන්ධය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර (නොසිඳ) රක්නට නොහැකි වෙයි. ශික්ෂායෙහි දුබල බව පාළ කොට ශික්ෂාප්රත්යාඛ්යානය කොට හුනු (ගිහී) බවට පෙරළෙයි. ඔහට රජස්ස්කන්ධය නම් කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි වේවයි, නියම්ගම්හි වේවයි, ස්ත්රියක් වේවයි, කුමරියක් වේවයි, ‘විශිෂ්ට රූ ඇත්තී ය, දර්ශනීය ය, ප්රසාදජනක ය, උත්තමශරීරවර්ණ හා අඞ්ගවින්යාසයෙන් සමන්වාගතය’යි අසයි. හේ එ අසා (මිථ්යාවිතර්කයෙහි) ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. පැවිද්දෙහි නො සිටුනේ ය. බඹසර (නොසිඳ) රක්නට නොසමත් වෙයි. ශික්ෂායෙහි දුබල බව පාළ කොට හුනු බවට පෙරළෙයි. මෙ ඔහට රජස්ස්කන්ධ යි.
මහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්ස්කන්ධය දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුලා එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්යමාන වන මේ ප්රථම යෝධාජීවොපමපුද්ගල යි.
තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. වැලිත් ධ්වජාග්රය ම දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නොසිටුනේ ය. බඹසර ගළවනුවට (නොසිඳ රක්නට) නො හැකි වෙයි. ශික්ෂායෙහි දුබල බව පාළ කොට ශික්ෂාප්රත්යාඛ්යාන කොට හීනභාවයට පෙරළෙයි. ඔහට ධ්වජාග්ර නම් කිමෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්රියක් හෝ කුමරියක් අභිරූප ය, දර්ශනීය ය, ප්රසාදජනක ය, උතුම් ශරීරවර්ණ හා අඞ්ගසණ්ඨානයෙන් සමන්වාගත ය යි නො ම අසන්නේ ය. වැලිදු තෙමේ ම අභිරූප ඇති දැකුම්කලු පහන් එළවන උතුම් රූ සපු අවයව සැරැසිල්ලෙන් යුත් ස්ත්රියක වේවයි කුමරියක වේවයි දක්නේ ය. හේ ඇය දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නො සිටුනේ ය. බඹසර රක්නට නො පොහොසත් ය. ශික්ෂායෙහි දුර්වලභාවය පාළ කොට සික හැර දමා හුනුබවට නවත්නේ ය (පෙරළෙයි). මෙ ඔහට ධ්වජාග්ර යි.
මහණෙනි, යම් පරිද්දෙකින් එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ වේ ද, වැලිත් ධ්වජාග්රය ම දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්ෂූන් අතුරෙහි විද්යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.
තවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්රය ඉවසන්නේය. වැලිත් උස්රණහඬ ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේය. බඹසර රක්නට නො පොහෝනේ ය. ශික්ෂායෙහි දුබල බව ප්රකට කොට ශික්ෂාප්රත්යාඛ්යාන කොට හීනත්වයට වටාලා යෙයි. ඔහට උස්සාදනය නම් කිමෙක යත්: