5. 2. 3. 4.
[දුතියධම්මවිහාරී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, ‘ධර්‍මවිහාරී ය, ධර්‍මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් මහණ ධර්‍මවිහාරී ද?
මහණ, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක්, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි චතුස්සත්‍යධර්‍මය ප්‍රගුණ කරයි. (ඒ පර්‍ය්‍යාප්තියෙන්) මතුයෙහිදු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සවිදර්‍ශනා මාර්‍ගප්‍රඥායෙන් නො දන්නේ ය. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල ය, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
තවද මහණ, භික්‍ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් අන්‍යයනට දෙසන්නේ ය. ඉන් මත්තෙහි දු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ සංඥප්තිය බහුල කොට ඇත්තෙක, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
තවද මහණ, භික්‍ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් සජ්ඣායනා කරයි. ඉන් මත්තෙහි දු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැන ගන්නේ ය. මහණ, මෙ භික්‍ෂු සජ්ඣායබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
තවද මහණ, භික්‍ෂු ඇසු පරිදි, පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණ කරයි. ඉන් මත්තෙහිදු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ විතර්‍කබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
මහණ, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය , උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වෙදල්ල ය යන (පර්‍ය්‍යාප්ති) ධර්‍මය ප්‍රගුණ කරයි. මතුයෙහි දු ප්‍රඥායෙන් ඒ ධර්‍මයාගේ අර්‍ත්‍ථය දැන ගන්නේ ය. මහණ, මෙසෙයින් මහණ ධර්‍මවිහාරී වෙයි.
මහණ, මෙසෙයින් මා විසින් පර්‍ය්‍යාප්තිබහුලයා දෙසන ලද්දේ ය. සංඥප්තිබහුලයා දෙසන ලද්දේ ය. සජ්ඣායබහුලයා දෙසන ලද්දේ ය. විතර්‍කබහුලයා දෙසන ලද්දේ ය. ධර්‍මවිහාරියා දෙසන ලද්දේ ය.
මහණ, සව්වනට හිත කැමැති අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පාව නිසා යමෙක් කටයුතු වේ නම්, එය තොපට මා විසින් කරණ ලදි. මහණ, තෙල වෘක්‍ෂමූලයෝ ය. තෙල ශුන්‍යාගාරයෝ ය. මහණ, ධ්‍යාන කරව. නහමක් පමා වව. පසු විපිළිසර නො වව. මේ තොපට මාගේ අනුශාසනි යි.
5. 2. 3. 5.
[පඨමයෝධාජීවූපම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, ලොව්හි මේ යොධාජීවයෝ පස් දෙනෙක් විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් (ඇත් අස් ආදීන්ගේ පාපහරින් බුන් බිමින් නැඟි) රජස් ස්කන්‍ධ ම දැක ගැලෙයි. (නොසැලී සිටිනු නොහැකි වෙයි.) වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ බඳු වූ ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ ප්‍රථම යුද්ධොපජීවියා වෙයි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය (දැක ද) ඉවසන්නේ ය. වැලිත් (ඇත් අස් පිටෙහි හෝ රියෙහි නැඟු) ධ්වජාග්‍රය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ දෙවන යුද්ධොපජීවි යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ම ඉවසන්නේ ය. එහෙත්, (ඇත්අස්රියසෙන් ආදීන්ගේ) මහාශබ්දය ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මෙ තුන් වන යුද්ධොපජීවි යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය (ඇත් අස් ආදීන් ගේ මහහඬ) ඉවසන්නේ ය. වැලිදු සපැමිණි ස්වල්ප ප්‍රහාරයෙහිදු විඝාතයට යෙයි. විකෘතියට පත් වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. සම්ප්‍රහාරය ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි (සත්දිනක් පමණ ඉසුරු සුඛ විඳිමින්) වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මේ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යෝධාජීව යි.