5. 2. 3. 3.
[පඨමධම්මවිහාරී සූත්රය]
[සැවැත්නිදාන යි]
23. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් එ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, ‘ධම්මවිහාරී ය, ධම්මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් ධම්මවිහාරී වේ ද.?
මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත ය, ගෙය්ය ය, වෙය්යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යි නවඟ විසින් චතුස්සත්යධර්මය වළඳ කෙරෙයි. හෙ එ ධර්මපර්ය්යාප්තියෙන් දවස ගෙවයි. පිළිසලන (ඒකීභාවය) හරියි. සිය සතන්හි සමාධිය (ශමථකර්මස්ථාන) නො වඩයි. මහණ, මෙ මහණ පර්ය්යාප්තිබහුල කොට ඇත්තේ ය, ධර්මවිහාරී නො ම වෙයි කියනු ලැබේ.
තව ද මහණ, භික්ෂූ යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය විතර විසින් අන්හට දෙසයි. හෙ ඒ ධර්මසංඥාපනායෙන් දවස ගළවයි. පිළිසලන හරියි. සිය සතන්හි සමාධිය නො වඩයි. මහණ, මෙ භික්ෂූ සංඥප්තිබහුල කොට ඇත්තේ ය, ධර්මවිහාරී නො වේ යි කියනු ලැබේ.
තව ද මහණ, භික්ෂු යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය විතර විසින් හදාරනු කෙරෙයි. හෙ එ වාක්පරිචයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ සජ්ඣායනා බහුල කොට ඇත්තේ ය, ධර්මවිහාරී නො වේ යි කියනු ලැබේ.
තව ද මහණ, භික්ෂු යථාශ්රැත යථාපර්ය්යාප්ත ධර්මය සිතින් අනුවිතර්කන කරයි. අනුවිචාරණ කරයි. මනසින් අනුප්රේක්ෂණා කරයි. හෙ එ ධර්මවිතර්කයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ විතර්කබුහලයෙක, ධර්මවිහාරී නො වේ යි කියනු ලැබේ.
මහණ, මෙ සස්නෙහි භික්ෂු සූත්ර ය, ගෙය ය, වෙය්යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන පර්ය්යාප්තීධර්මය ප්රගුණ කරයි. හෙ එ ධර්මපර්ය්යාප්තියෙන් දවස නො ගෙවයි. ඒකීභාවය නො හරියි. ආද්ධ්යාත්මිකචිත්තශමථයෙහි යෙදෙයි. මහණ, භික්ෂු මෙසේ ධර්මවිහාරී වෙයි.
මහණ, මෙසෙයින් මා විසින් පර්ය්යාප්තිබහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. සංඥප්තිබහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. සජ්ඣාය බහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. විතර්ක බහුල පුද්ගල දෙසන ලදි. ධර්මවිහාරී පුද්ගල දෙසන ලද්දේ ය.
මහණ, ශ්රාවකයනට (මෛත්රියෙන් උපසංහරණ විසින්) හිත කැමැති (කරුණායෙන්) අනුකම්පා කරණ ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යම් කරණී කළ යුතු වේ නම්, (පඤ්ච පුද්ගලයන් දෙසන) මා විසින් එය තොපට කරණ ලදි. මහණ, තෙල රුක්මුල් ඇත. තෙල ශුන්යාගාරයෝ ඇත. මහණ (ආරම්මණූපනිජ්ඣාන ලක්ඛණුපනිජ්ඣාන විසින්) ධ්යාන කරව (සමථවිපස්සනා වඩව). නහමක් පමා වව. නහමක් පසු විලිළිසර වව. මේ තොපට අපගේ අනුශාසනි ය යි.
5. 2. 3. 4.
[දුතියධම්මවිහාරී සූත්රය]
[සැවැත්නිදාන යි]
24. එකල අන්යතර මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, ‘ධර්මවිහාරී ය, ධර්මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් මහණ ධර්මවිහාරී ද?
මහණ, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක්, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි චතුස්සත්යධර්මය ප්රගුණ කරයි. (ඒ පර්ය්යාප්තියෙන්) මතුයෙහිදු එ ධර්මයාගේ අර්ත්ථය සවිදර්ශනා මාර්ගප්රඥායෙන් නො දන්නේ ය. මහණ, මෙ මහණ පර්ය්යාප්තිබහුල ය, ධර්මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
තවද මහණ, භික්ෂු ඇසු පරිදි ප්රගුණ කළ පරිදි ධර්මය විස්තරවශයෙන් අන්යයනට දෙසන්නේ ය. ඉන් මත්තෙහි දු එ ධර්මයාගේ අර්ත්ථය ප්රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ සංඥප්තිය බහුල කොට ඇත්තෙක, ධර්මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
තවද මහණ, භික්ෂු ඇසු පරිදි ප්රගුණ කළ පරිදි ධර්මය විස්තරවශයෙන් සජ්ඣායනා කරයි. ඉන් මත්තෙහි දු එ ධර්මයාගේ අර්ත්ථය ප්රඥායෙන් නො දැන ගන්නේ ය. මහණ, මෙ භික්ෂු සජ්ඣායබහුලයෙක, ධර්මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
තවද මහණ, භික්ෂු ඇසු පරිදි, පුහුණු කළ පරිදි ධර්මය සිතින් අනුවිතර්කන කරයි. අනුවිචරණ කරයි. මනසින් අනුප්රේක්ෂණ කරයි. ඉන් මත්තෙහිදු එ ධර්මයාගේ අර්ත්ථය ප්රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ විතර්කබහුලයෙක, ධර්මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
මහණ, මෙ සස්නෙහි මහණ සූත්ර ය, ගෙය්ය ය, වෙය්යාකරණ ය, ගාථා ය , උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්ම ය, වෙදල්ල ය යන (පර්ය්යාප්ති) ධර්මය ප්රගුණ කරයි. මතුයෙහි දු ප්රඥායෙන් ඒ ධර්මයාගේ අර්ත්ථය දැන ගන්නේ ය. මහණ, මෙසෙයින් මහණ ධර්මවිහාරී වෙයි.