5. 2. 3. 2.
[දුතියචේතෝවිමුත්තිඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු චිත්තවිමුක්තිඵල කොට ඇතියාහු චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
අනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා යි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු, චේතෝවිමුක්තිය ඵල කොට ඇතියාහු ද චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද ප්‍රඥාමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
මහණෙනි, යම් කලක් පටන් කොට මහණ චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ නම්, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු ‘සඞ්කිණ්ණපරඛ’ ය යි දු ‘අබ්බූළ්හෙසික’ ය යි දු ‘නිරග්ගළ’ ය යි දු ආර්‍ය්‍ය වූයේ පන්නද්ධජ වූයේ පන්නභාර වූයේ ‘විසංයුත්ත’ ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවදායක ජාතිසංසාරය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අභාව ඇත්තී මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.
මහණෙනි, කිසෙයින් මහණ නිරග්ගළ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්චඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇතියාහු තාලාවාස්තුකෘත වූවාහු කෘත අභාව ඇතියාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇතියාහු වෙත්. මහණෙනි, මෙසෙයින් මහණ නිරග්ගළ වේ යයි.
මහණෙනි, කිසෙයින් මහණ ආර්‍ය්‍ය වූයේ, පන්නද්ධජ වූයේ, පන්නභාර වූයේ විසංයුත්ත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අස්මිමානය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ පන්නද්ධජ වූයේ, පන්නභාර වූයේ විසංයුත්ත වෙයි.
5. 2. 3. 3.
[පඨමධම්මවිහාරී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
වහන්ස, ‘ධම්මවිහාරී ය, ධම්මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් ධම්මවිහාරී වේ ද.?
මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යි නවඟ විසින් චතුස්සත්‍යධර්‍මය වළඳ කෙරෙයි. හෙ එ ධර්‍මපර්‍ය්‍යාප්තියෙන් දවස ගෙවයි. පිළිසලන (ඒකීභාවය) හරියි. සිය සතන්හි සමාධිය (ශමථකර්‍මස්ථාන) නො වඩයි. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො ම වෙයි කියනු ලැබේ.
තව ද මහණ, භික්‍ෂූ යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් අන්හට දෙසයි. හෙ ඒ ධර්‍මසංඥාපනායෙන් දවස ගළවයි. පිළිසලන හරියි. සිය සතන්හි සමාධිය නො වඩයි. මහණ, මෙ භික්‍ෂූ සංඥප්තිබහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
තව ද මහණ, භික්‍ෂු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් හදාරනු කෙරෙයි. හෙ එ වාක්පරිචයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ සජ්ඣායනා බහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
තව ද මහණ, භික්‍ෂු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචාරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණා කරයි. හෙ එ ධර්‍මවිතර්‍කයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ විතර්‍කබුහලයෙක, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
මහණ, මෙ සස්නෙහි භික්‍ෂු සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන පර්‍ය්‍යාප්තීධර්‍මය ප්‍රගුණ කරයි. හෙ එ ධර්‍මපර්‍ය්‍යාප්තියෙන් දවස නො ගෙවයි. ඒකීභාවය නො හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි යෙදෙයි. මහණ, භික්‍ෂු මෙසේ ධර්‍මවිහාරී වෙයි.