5. 2. 2. 10.
[ආසවක්ඛය සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්මයෝ පස් දෙනෙක් ආස්රවක්ෂය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්රතිකූලසංඥා ඇතියේ, හැමලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්වසංස්කාරයෙහි අනිත්යානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණසංඥාව අද්ධ්යාත්මයෙහි මොනවට එළඹ සිටියේ ම වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්මයෝ භාවිත බහුලීකෘත වූවාහු ආස්රවක්ෂය පිණිස වැටෙත්.
සංඥාවර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
සඤ්ඤා සූත්ර දෙකය, වඩ්ඪීසූත්ර දෙකය, සාකච්ඡා සූත්රය, සාජීවසූත්රය, ඉද්ධිපාදසූත්ර දෙකය, නිබ්බිදා සූත්රය, ආසවක්ඛය සූත්රය දැයි දසයෙක.
3. අනාගතභය වර්ගය
5. 2. 3. 1.
[පඨමචේතෝවිමුත්තිඵල සූත්රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ ධර්මයෝ පස් දෙනෙක් භාවිත බහුලීකාත වූවාහු (මාර්ගඵලසමාධි සඞ්ඛ්යාත) චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද, (මාර්ගඵලප්රඥා සඞ්ඛ්යාත) ප්රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්වසංස්කාරයෙහි අනාත්මානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණ සංඥාව තමා තුළ මනාව පිහිටියේ ම වෙයි.
මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්මයෝ චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
මහණෙනි, මහණ යම් කලක් පටන් කොට චේතෝවිමුක්ත හා ප්රඥාවිමුක්ත හා වේ ද, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු (උපුටා හළ වටමුල් අවිදු නමැති කනයම ඇතියෙකැයි දු), ‘සඞ්කිණ්ණ පරිඛ’ය යි දු (සුගිදුගිසසර නමැති පරිඛා වනසා ලූයේ යයි දු), ‘අබ්බූළ්හෙසික’ ය යි දු (උපුටා හළ තෘෂ්ණා නමැති ඉඳුකිල් ඇතියේ ය යි දු), ‘නිරග්ගළ’ ය යි දු (උදුරා හළ නීවරණ සඞ්ඛ්යාත අගුළු ඇතියේ ය යි දු), ආර්ය්ය වූයේ හෙළා ලූ මානධ්වජ ඇතියේ ය යි දු, හෙළා ලූ (ස්කන්ධ අභිසංස්කාර ක්ලේශ සඞ්ඛ්යාත) බර ඇතියේ ය යි දු, ‘විසංයුක්ත’ (චතුරොඝයෙන් වෙන් ව සිටියේ) ය යි දු කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ නම් ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ හට අවිද්යා ප්රහීණ වූවා, උසුන් මුල් වූවා, මුදුන්සුන් තලක් සෙයින් කළ අවාස්තුකභාව ඇත්තී, කෘත අත්යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ‘සංකිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්භවාඛ්ය ඵලයට අර්හ වන ජාතිසංසාරය (කර්මාභිසංස්කාරය) ප්රහීණ වෙයි ... මහණෙනි, මෙසේ මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අත්යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.