5. 2. 1. 2.
[අකුසලරාසි සූත්රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, ‘අකුශලරාශිය’යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ නීවරණපස නම් මේ හුදු අකුශලරාශි ම වෙයි. කවර පස් දෙනෙක යත්:
කාමච්ඡන්දනීවරණ ය, ව්යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි.
මහණෙනි, අකුශලරාශි ය යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ පඤ්චනීවරණ නම් තෙල හුදු අකුශලරාශි ම වෙයි.
5. 2. 1. 3.
[පධානියඞ්ග සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, ප්රධන් වීර්ය්ය කරණ මහණහුගේ මේ අඞ්ග පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන්ගේ සම්බෝධිය (චතුර්මාර්ගඥානය) හදහයි. එ භගවත්හු මෙ කරුණිනුදු අර්හත්හ. සම්යක්සම්බුද්ධයහ. විද්යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්යසාරථිහ. දෙවිමිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ”යි.
අල්පාබාධ වූයේ අල්පාතඞ්ක (නිදුක්) වූයේ සම ව පස්නා අතිශීත නොවූ අත්යුෂ්ණ නො වූ මධ්යම වූ ප්රධානක්ෂමවූ ග්රහණියෙන් සමන්වාගත වෙයි.
තමා නැති ගුණ නො පාළ කරණුයේ, තමා ඇති අයුණු නොසඟවනුයේ වෙයි ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥයන් කෙරෙහි වේවයි, සබ්රම්සරුන් කෙරෙහි වේවයි, තමා ඇතිතතු පහළ කරනුයේ වෙයි.
අකුශලධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශලධර්මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹු වැර ඇතියේ, කුශලධර්මයෙහි ස්ථාම ඇතියේ, දළපැරකුම් ඇතියේ, බහා නො තැබූ වීර්ය්යධුර ඇතියේ වාස කෙරෙයි.
උදාවිය පිරිසිඳුනට සමත්, පරිශුද්ධ, නොබුන්විරූ කෙලෙස්කඳ බිඳුනට සමත්, මොනොවට දුඃඛක්ෂයගාමිනී ප්රඥායෙන් සමන්වාගත වූයේ ප්රඥාවත් වෙයි.
මහණෙනි, ප්රධන්වීර්ය්ය වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ග යි.
5. 2. 1. 4.
[අසමය - සමය සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, ප්රධන් වීර්ය්යකරණයට මේ නො කල් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මහණ ජරායෙන් මැඩුනේ ජීර්ණ වෙයි. මහණෙනි, ප්රධන් වීර්ය්යකරණයට මේ පළමු නො කලි.
තවද මහණෙනි, මහණ ව්යාධියෙන් මැඩුනේ රෝගයෙන් පෙළුනේ වෙයි. මහණෙනි, මේ ප්රධන්වීර්ය්යකරණයට දෙවන නො කලි.
තවද මහණෙනි, නට ශස්ය ඇති, දුලබපිඬු ඇති සායෙක් වෙයි. පාත්රය ගෙණ සිඟීමෙන් යැපෙන්නට සුකර නොවෙයි. මේ ප්රධන්වීර්ය්යයට තෙවන නො කලි.
තවද මහණෙනි, අටවිසඞ්කෝපභයෙක් (කඩපලා සොර බියෙක්) වෙයි රිය නැගි දනව් වැස්සෝ ඔබමොබ දිවෙත්. මහණෙනි, ප්රධන්වීර්ය්යයට මේ සතර වන නො කලි.
තවද මහණෙනි, සඞ්ඝයා බිඳුනේ වෙයි. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි උනුන් අක්කොසවතින් හවන්නාහු ද වෙති. උනුන් තෙද කියා (බිය දක්වා සන්තර්ජනයෙන්) බණන්නාහු ද වෙති. උනුන් (විරුද්ධවිසින්) වටාගන්නාහු ද වෙති, උනුන් මිගදොඩා හැරපියන්නාහු ද වෙත්.
එහි ලා අප්රසන්නයෝ ද නො පහන්හු ම ය. පහන් වූ ඇතැම්කෙනෙකුගේ අන්යථාත්වය (වෙනස) ද වෙයි. මහණෙනි, ප්රධන්වීර්ය්යයට මේ පස් වන නො කලි.
මහණෙනි, ප්රධන්වීර්ය්යය පිණිස මේ නොකල් පස යි.