5. 2. 1. 3.
[පධානියඞ්ග සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍ය කරණ මහණහුගේ මේ අඞ්ග පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන්ගේ සම්බෝධිය (චතුර්මාර්‍ගඥානය) හදහයි. එ භගවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවිමිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ”යි.
අල්පාබාධ වූයේ අල්පාතඞ්ක (නිදුක්) වූයේ සම ව පස්නා අතිශීත නොවූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍යම වූ ප්‍රධානක්‍ෂමවූ ග්‍රහණියෙන් සමන්‍වාගත වෙයි.
තමා නැති ගුණ නො පාළ කරණුයේ, තමා ඇති අයුණු නොසඟවනුයේ වෙයි ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥයන් කෙරෙහි වේවයි, සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා ඇතිතතු පහළ කරනුයේ වෙයි.
අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹු වැර ඇතියේ, කුශලධර්‍මයෙහි ස්ථාම ඇතියේ, දළපැරකුම් ඇතියේ, බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වාස කෙරෙයි.
උදාවිය පිරිසිඳුනට සමත්, පරිශුද්ධ, නොබුන්විරූ කෙලෙස්කඳ බිඳුනට සමත්, මොනොවට දුඃඛක්‍ෂයගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍ය වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ග යි.
5. 2. 1. 4.
[අසමය - සමය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ නො කල් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මහණ ජරායෙන් මැඩුනේ ජීර්‍ණ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ පළමු නො කලි.
තවද මහණෙනි, මහණ ව්‍යාධියෙන් මැඩුනේ රෝගයෙන් පෙළුනේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යකරණයට දෙවන නො කලි.
තවද මහණෙනි, නට ශස්‍ය ඇති, දුලබපිඬු ඇති සායෙක් වෙයි. පාත්‍රය ගෙණ සිඟීමෙන් යැපෙන්නට සුකර නොවෙයි. මේ ප්‍රධන්වීර්‍ය්‍යයට තෙවන නො කලි.
තවද මහණෙනි, අටවිසඞ්කෝපභයෙක් (කඩපලා සොර බියෙක්) වෙයි රිය නැගි දනව් වැස්සෝ ඔබමොබ දිවෙත්. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ සතර වන නො කලි.
තවද මහණෙනි, සඞ්ඝයා බිඳුනේ වෙයි. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි උනුන් අක්කොසවතින් හවන්නාහු ද වෙති. උනුන් තෙද කියා (බිය දක්වා සන්තර්‍ජනයෙන්) බණන්නාහු ද වෙති. උනුන් (විරුද්ධවිසින්) වටාගන්නාහු ද වෙති, උනුන් මිගදොඩා හැරපියන්නාහු ද වෙත්.
එහි ලා අප්‍රසන්නයෝ ද නො පහන්හු ම ය. පහන් වූ ඇතැම්කෙනෙකුගේ අන්‍යථාත්‍වය (වෙනස) ද වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පස් වන නො කලි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ නොකල් පස යි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ කල් පසෙක කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තරුණ කළු කෙහෙ ඇති, සොඳුරු යොවුනෙන් ද පළමුවයසින් ද සමන්‍වාගත වූ තරුණයෙක් වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පළමු කලි.
තවද මහණෙනි, මහණ අල්පාබාධ ඇතියේ නිදුක් වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍ය ම වූ ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි වූ සමව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගත වූයේ වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ දෙවන කලි.
තවද මහණෙනි, මනා ශස්‍යසම්පත් ඇති සුලභ පිඬු ඇති සුභික්‍ෂයෙක් වෙයි. පා ගෙණ සිඟාගත් පිඬුයෙන් යැපීමට සුකර වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ තෙවන කලි.
තවද මහණෙනි, මනුෂ්‍යයෝ සමඟ වූවාහු මොනොවට තුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත්. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට සතර වන කලි.
තවද මහණෙනි, සමඟ සඞ්ඝයා මොනොවට සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකුද්දෙස ඇතියේ සුවසේ වෙසෙයි. මහණෙනි, සඟුන් සමඟ කල්හි උනුන්ට ආක්‍රෝශ ද නො කෙරෙත්. උනුනට පරිභාෂා ද නො කෙරෙත්. උනුන්ට පරික්‍ෂේප ද නො කෙරෙත්. උනුන් හැරපියන්නාහු ද නො වෙත්. එහි ලා අප්‍රසන්නයෝ ද පහදිති පහන් වූවන්ගේ ද භිය්‍යොභාව වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ පස් වන කලි.
මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ සමය පස යි.
5. 2. 1. 5.
[මාතාපුත්ත සූත්‍රය]
5. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල සැවැත්හි මහණ හා මෙහෙණ හා දෙ මාපුත් කෙනෙක් වස් එළඹියහ.
ඔහු නරතුරු උනුන් දක්නා කැමති වූහ. මවු දු නරතුරු පුතු දක්නා කැමති වූය. පිත් ද නරතුරු මව දක්නා කැමැති විය. ඔවුන්ගේ නරතුරු දැක්මෙන් සංසර්‍ගයෙක් වී. ස සර්‍ගය ඇති වත් ම විශ්වාසය විය විශ්වාසය ඇති වත් ම (කම්රා විසින්) බැස ගැන්ම විය. (කම්රා විසින්) බට සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බැව් පාළ නො කොට මෙවුන්දම් සෙවියහ.
එ කල බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: “වහන්ස, මෙ සැවැත්හි මහණ මෙහෙණ දෙමාපුතු කෙනෙක් වස් එළඹියහ ඔහු උනුන් නරතුරු දර්‍ශනය කැමැති වූහ. මවුදු නරතුරු පුතු දක්නා කැමැත්තී වූය පුත් ද නරතුරු මව දක්නා කැමති විය. නරතුරු දැක්මෙන් ඔවුන්ගේ සංසර්‍ගයෙක් විය. සසඟ ඇති වත් ම විශ්වාසය විය. විශ්වාසය ඇති වත් ම කම්රායෙන් බැසගැන්ම විය. බැසගත් සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දෞර්‍බල්‍යය පාළ නො කොට මෙවුන්දම් සෙවියහ’යි.