5. 1. 5. 9.
[කෝසල සූත්රය]
49. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින.
එක්බිති අන්යතර පුරුෂයෙක් පසේනදි කොසොල්රජු වෙත එළැඹියේ ය. එළැඹ පසේනදී කොසොල් රජහුගේ කන්මුලැ “මල්ලිකා දේවී කලුරිය කළෝ ය”යි සැළ කෙළේ ය.
මෙසේ කියත් ම, පසේනදි කෝසලරජු උපන් දුක් ඇතියේ නො සතුටු සිත් ඇතියේ හෙළු කඳ ඇතියේ යටිකුරු මුව ඇතියේ සිතිවිලි සිතනුයේ පිළිබහන් (නුවණක්) නැතියේ හින.
එ කල්හි භාග්යවතුන් වහන්සේ හටගත් ශෝක ඇති නොසතුටු සිත් ඇති හෙළු සිරුරු කඳ ඇති යටිකුරු මුව ඇති සිතිවිලි සිතන පිළිබහන් නැති පසේනදි කොසොල් රජු දැන වදාරා පසේනදි කෝසල රජුට තෙල කරුණ වදාළ සේක:
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බ්රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිදු කෙනකු විසින් වේවයි නො ලැබිය හෙන මෙ කරුණු පසෙකි. කවර පසෙක යත්: ‘ජරාධර්මය නො දිරාවා’යි ... කිසිවකු විසින් නො ලැබිය හෙන කරුණෙකි ... “කර්මය දැඩි ය. දැන් කුමක් කෙරෙම් දැ”යී සිතා ශෝක නො කෙරෙමින් ඉවසන්නේ ය.
5. 1. 5. 10.
[සෝකසල්ලහරණ සූත්රය]
50. එක් කලෙක ආයුෂ්මත් නාරද තෙරණුවෝ පැළැලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩ වෙසෙති. එ සමයෙහි මුණ්ඩ රජහුගේ ප්රිය වූ මනාප වූ භද්රා නම් දේවී කලුරිය කළෝ ය. හෙ ප්රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි, ස්නාන නො කෙරෙයි. විලෙවුන් නො ගල්වයි. බත් නුබුදුනේ ය. කර්මාන්ත නො යොදවයි. රෑ දෙවෙහි භද්රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. එක්බිති මුණ්ඩ රජ පියක නම් කෝෂාරක්ෂකාමාත්යයා ඇමතී ය: යහළු පියකය, එහෙයින් ම භද්රා දෙවියගේ ශරීරය යමුවා තෙල් දෙණෙක්හි බහා අනෙක් යමුවා දෙණෙකින් වසාලව. “යම් පරිදි අපි භද්රාදේවියගේ ශරීරය චිරතර කාලයක් දක්නමෝ දැ”යි.
‘දේවයෙනි, එසේ ය’යි පියක නම් කෝෂාරක්ෂක තෙම මුණ්ඩ රජුහට පිළිවදන් අස්වා භද්රාදේවියගේ මළසිරුර යමුවා තෙල්දෙණෙක බහා අනෙක් යමුවා දෙණෙකින් වැසී ය. එක්බිති පියක නම් කෝෂාරක්ෂක හට මෙ සිත් විය:
“මෙ මුණ්ඩ රජුගේ ප්රිය වූ මන වඩන්නා වූ භද්රාදේවිය කලුරිය කළෝ ය. හෙ ප්රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි නො නහන්නේ ය. විලෙවුන් නො ද ගල්වන්නේ ය බත් නුබුදුනේ ය. කර්මාන්ත නො යොදවනේ ය. රෑදෙවෙහි භද්රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. මුණ්ඩ රජ යමකුගේ ධර්මය අසා සෝහුල් දුරලන්නේ නම්, එබඳු කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්ය්යුපාසනය කෙරේ දැ”යි.
එක්බිති පියක නම් කෝෂාරක්ෂකහට මෙ සිත් විය: “මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්රයෙහි කුක්කුටාරාමයෙහි වාස කරත්. ‘පණ්ඩිතයහ, ව්යක්තයහ, ප්රශස්තබුද්ධි ඇතියහ, බහුශ්රැතයහ, චිත්රකථීහ, කලණ වැටැහීම් ඇතියහ, මහලුහ, අර්හත්හ’ මෙසේ එ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ කලණයසගී උස් ව නැංගේ ය. යම් හෙයෙකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන් පර්ය්යුපාසනා කෙරේ නම්, ඒකාන්තයෙන් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ ධර්මය අසා ශෝකශල්යය දුරලන්නේ ය”යි. එක්බිති පියක කෝෂාරක්ෂක ඇමැති මුණ්ඩ රජු කරා එළැඹියේ ය. එළැඹ මුණ්ඩ රජහට තෙල කරුණ සැළ කෙළේ ය:
දේවයෙනි, මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්රයෙහි කුක්කුටාරාමයෙහි වෙසෙත්. ‘පණ්ඩිතයහ, ව්යක්තයහ, මේධාවීහ, බහුශ්රැතයහ, චිත්රකථීහ, කල්යාණප්රතිභාන ඇතියහ, වෘද්ධයහ, අර්හත්හ” මෙ සේ එ ආයුෂ්මත්හුගේ කලණකිත්ගොසෙක් උස් ව නැංගේ ය. ඉදින් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන් පර්ය්යුපාසනය කෙරෙත් නම්, ඒකාන්තයෙන් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ දහම් අසා ශෝකශල්යය හරිති”යි.
“යහළු පියකයෙනි, එ කරුණින් ම ආයුෂ්මත් නාරද තෙරුන් හට දන්වව. කෙසේ නම් මබඳුයෙක් ස්වවිජිතයෙහි වෙසෙන මහණකු හෝ බමුණකු කරා පළමු ප්රතිඥා නො ලද්දේ එළැඹිය යුතු කොට සිතනේ දැ”යි.