5. මුණ්ඩරාජ වර්‍ගය
5. 1. 5. 1.
[භෝගආදිය සූත්‍රය]
41. එක් කලෙක භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ඇසුරු කොට ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එ කල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හිඳගත. බුදුහු එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවි හට තෙල වදාළ සේක:
ගැහැවිය, භෝගයන් පිළිබඳ වූ මේ ආදෙයයෝ (ගතයුතු ප්‍රයෝජනයෝ) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් (කායිකචෛතසික වීර්‍ය්‍යයෙන්) ලත්, බාහුබලයෙන් රැස් කළ දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලැබූ භෝගයෙන් තමා සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මාතෘපිතෲන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. පුත්‍රදාර, දාස, කර්‍මකරපුරුෂයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ පළමු ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ දෙවෙනි ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයන ලද, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් වේවයි යම් ඒ ආපදාවෝ වෙත් නම්, එබඳු ආපදාවන්හි භෝගයෙන් වසා (උවදුරු වළකා ගෙණ) වැටෙයි. ආත්මභාවය නිරුපද්‍ර ව කෙරෙයි. මෙ භෝගයන්ගේ තුන් වන ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලද, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ඥාතිබලි ය, අතිථිබලි ය, පූර්‍වප්‍රේතබලි ය, රාජබලි ය, දේවතාබලි ය යි බලි (සත්කාර) පසක් කරන්නේ වෙයි. මෙ භෝගයන්ගේ සිවු වන ආදෙය වේ.
තවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කොට ගත්, දහදිය නඟා උපයා ගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මද පමා දෙකින් විරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි පිවිසගත් යම් එ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් එක් ම (තමන්ගේ ම) ආත්මභාවය දමනය කෙරෙත් නම්, එක් ම ආත්මභාවය සන්හිඳුවත් නම්, එක් ම ආත්මභාවය පිරිනිවත් නම්, එබඳු මහණ බමුණන් කෙරෙහි (මතු මතු භූමින්හි ඵලදාන වශයෙන්) ඌර්‍ඬවාග්‍ර ඇති, ස්වර්‍ගයට හිත වූ, සුඛ විපාක ඇති, ස්වග්‍රභාවයට හිත ව වැටෙන (අග්‍ර වූ රූපාදිය මොනවට ගෙණ දෙන) දක්‍ෂිණාව පිහිටුවයි. මෙ භෝගයන්ගේ පස් වන ආදෙය වේ.
ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස යි.
ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස ගන්නා වූ එ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ භෝගයේ අවසනට යෙත් නම්, ඔ හට මෙ සිත් වෙයි: “ඒකාන්තයෙන් භෝගයන්ගේ යම් ආදෙයයෝ වෙත් නම් මම ඔවුනුදු ගන්මි. මාගේ භෝගයෝ ද (ප්‍රයෝජනය ගැන්මෙන්) පරික්‍ෂයට යෙති”යි. මෙසෙයින් ඔහට අවිප්‍රතිසාරය වෙයි. ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස ගන්නා එ ආර්‍ය්‍යශ්‍රාවකහට ඉදින් භෝගයෝ අභිවර්‍ධනයට යෙත් නම්, ඔහට මෙ සිත වෙයි: “ඒකාන්තයෙන් භෝගයන්ගේ යම් ආදෙයයෝ වෙත් නම් ඔවුනුදු මම ගන්මි. මාගේ භෝගයෝ ද (වඩාලා ම) අභිවර්‍ධනයට යෙති” යි. මෙසෙයින් ඔහට දෙපරිදියෙන් ම අවිප්‍රතිසාරය වේ ය යි.
38. ම විසින් භෝගයෝ වළඳන ලදහ. පෝෂණයට නිසියෝ ද පුස්නාලදහ. ආපද්හි දී ආපදාවෝ ද තරණය කරණ ලදහ. සිල්වත් සංයත වූ බ්‍රහ්මචාරීහු වටන ලදහ.
39. ගෙයි වෙසෙන නුවණැතියේ යමක් සඳහා භොග කැමැති වේ නම් මා විසින් එ අර්‍ත්‍ථය ලබන ලද වේ. නො තැවීමට හිත කර්‍මය කරණ ලදි.
40. තෙල සිහි කරණ මිනිස් තෙමේ ආර්‍ය්‍යධර්‍මයෙහි සිටියේ වෙයි. මෙ අත්බවුහි ම (නැණැතියෝ) ඔහු පසසත්. මිය පරලොව ගියේ ස්වර්‍ගයෙහි විපාකමෝදනා කෙරේ.
5. 1. 5. 2.
[සප්පුරිස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, කුලයෙහි උපදනා සත්පුරුෂ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස් කම්කරුපුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
මහණෙනි, යම් සෙ වට මහවැසි හැම සස්වග සපයනුයේ බොහෝ දෙන හට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂ කුලයෙහි උපදනේ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි: දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස්කම්කරු පුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
41. (සත්පුරුෂ වූ යමෙක්) උපභෝග පරිභෝග සම්පත් ලැබ මාපිය ඈ බොහෝ දෙනහට හිත වූයේ ද, ඔහු ලෝපල් දෙවි රක්නේ ය. දෙවියන් විසින් රක්නා ලද බොහෝ ඇසුපිරු තැන් ඇති, ශීලය හා ව්‍රතයෙන් සමෘද්ධ වූ දස කුසල් දහම්හි සිටියහු කීර්ත්තිය නො හරී.
42. දහම්හි සිටි ශීලයෙන් සමෘද්ධ වූ සත්‍යවාදී වූ අකුසලින් හැකිළෙන සිතැති ඔහු ජාම්බොනදසුවර්‍ණයාගේ නිෂ්කයක් සෙයින් නිගන්නට කවරෙක් අර්‍හ වේ ද, දෙවියෝත් ඔහු පසසති. බඹහු විසිනුදු හේ පසස්නා ලද්දේ යි.