5. 1. 5. 10.
[සෝකසල්ලහරණ සූත්රය]
50. එක් කලෙක ආයුෂ්මත් නාරද තෙරණුවෝ පැළැලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩ වෙසෙති. එ සමයෙහි මුණ්ඩ රජහුගේ ප්රිය වූ මනාප වූ භද්රා නම් දේවී කලුරිය කළෝ ය. හෙ ප්රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි, ස්නාන නො කෙරෙයි. විලෙවුන් නො ගල්වයි. බත් නුබුදුනේ ය. කර්මාන්ත නො යොදවයි. රෑ දෙවෙහි භද්රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. එක්බිති මුණ්ඩ රජ පියක නම් කෝෂාරක්ෂකාමාත්යයා ඇමතී ය: යහළු පියකය, එහෙයින් ම භද්රා දෙවියගේ ශරීරය යමුවා තෙල් දෙණෙක්හි බහා අනෙක් යමුවා දෙණෙකින් වසාලව. “යම් පරිදි අපි භද්රාදේවියගේ ශරීරය චිරතර කාලයක් දක්නමෝ දැ”යි.
‘දේවයෙනි, එසේ ය’යි පියක නම් කෝෂාරක්ෂක තෙම මුණ්ඩ රජුහට පිළිවදන් අස්වා භද්රාදේවියගේ මළසිරුර යමුවා තෙල්දෙණෙක බහා අනෙක් යමුවා දෙණෙකින් වැසී ය. එක්බිති පියක නම් කෝෂාරක්ෂක හට මෙ සිත් විය:
“මෙ මුණ්ඩ රජුගේ ප්රිය වූ මන වඩන්නා වූ භද්රාදේවිය කලුරිය කළෝ ය. හෙ ප්රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි නො නහන්නේ ය. විලෙවුන් නො ද ගල්වන්නේ ය බත් නුබුදුනේ ය. කර්මාන්ත නො යොදවනේ ය. රෑදෙවෙහි භද්රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. මුණ්ඩ රජ යමකුගේ ධර්මය අසා සෝහුල් දුරලන්නේ නම්, එබඳු කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්ය්යුපාසනය කෙරේ දැ”යි.
එක්බිති පියක නම් කෝෂාරක්ෂකහට මෙ සිත් විය: “මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්රයෙහි කුක්කුටාරාමයෙහි වාස කරත්. ‘පණ්ඩිතයහ, ව්යක්තයහ, ප්රශස්තබුද්ධි ඇතියහ, බහුශ්රැතයහ, චිත්රකථීහ, කලණ වැටැහීම් ඇතියහ, මහලුහ, අර්හත්හ’ මෙසේ එ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ කලණයසගී උස් ව නැංගේ ය. යම් හෙයෙකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන් පර්ය්යුපාසනා කෙරේ නම්, ඒකාන්තයෙන් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ ධර්මය අසා ශෝකශල්යය දුරලන්නේ ය”යි. එක්බිති පියක කෝෂාරක්ෂක ඇමැති මුණ්ඩ රජු කරා එළැඹියේ ය. එළැඹ මුණ්ඩ රජහට තෙල කරුණ සැළ කෙළේ ය:
දේවයෙනි, මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්රයෙහි කුක්කුටාරාමයෙහි වෙසෙත්. ‘පණ්ඩිතයහ, ව්යක්තයහ, මේධාවීහ, බහුශ්රැතයහ, චිත්රකථීහ, කල්යාණප්රතිභාන ඇතියහ, වෘද්ධයහ, අර්හත්හ” මෙ සේ එ ආයුෂ්මත්හුගේ කලණකිත්ගොසෙක් උස් ව නැංගේ ය. ඉදින් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන් පර්ය්යුපාසනය කෙරෙත් නම්, ඒකාන්තයෙන් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ දහම් අසා ශෝකශල්යය හරිති”යි.
“යහළු පියකයෙනි, එ කරුණින් ම ආයුෂ්මත් නාරද තෙරුන් හට දන්වව. කෙසේ නම් මබඳුයෙක් ස්වවිජිතයෙහි වෙසෙන මහණකු හෝ බමුණකු කරා පළමු ප්රතිඥා නො ලද්දේ එළැඹිය යුතු කොට සිතනේ දැ”යි.
පියක කෝෂාරක්ෂ ඇමැති ‘එසේ ය, දේවයෙනි’යි මුණ්ඩ රජුට පිළිවදන් දී ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් පියක කෝෂාරක්ෂ ඇමැති තෙල සැළ කෙළේ ය: වහන්ස, මේ මුණ්ඩරජුගේ ප්රියමනාප භද්රාදේවිය කලුරිය කළා. හේ ප්රියමනාප භද්රාදේවිය කලුරිය කළ සඳ නො ම නහයි. විලෙවුන් නො ගල්වයි. බත නො වළඳයි. කර්මාන්ත නො යොදවයි. දව රෑ භද්රාදේවියගේ ශරීරයෙහි ගැලගත් සැහැවි ඇති ශෝකමූර්ඡායෙන් මූර්ඡිත ය. අයදිමි, වහන්ස, යම් පරිදි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන්ගේ දහම් අසා ශෝකශල්යය හරණේ වේ ද, ආයුෂ්මත් නාරද තෙරණුවෝ මුණ්ඩරජුට එසේ දහම් දෙසත් නම් මැනැව.
‘පියකය, මුණ්ඩරජ යම් අර්ත්ථයකට කල් හඟනේ නම් දැන් කලි’.
එක්බිති පියක කෝෂාරක්ෂ ඇමැති හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට මුණ්ඩරජු කරා එළඹියේ ය. එළඹ මුණ්ඩරජුට තෙල කී: “දේවයෙනි, දෙව තෙමේ යම් අර්ත්ථයකට දැන් කල් හඟනේ නම්, ආයුෂ්මත් නාරද තෙරණුවන් විසින් තෙල අර්ත්ථයට කළ අවකාස ඇතැ”යි.
දරුව, පියකයෙනි, එහෙයින් භද්ර භද්ර යානයන් යොදව යි.
‘දේවයෙනි, එසේ ය’යි පියක කෝෂාරක්ෂ ඇමැති මුණ්ඩරජුට පිළිවදන් අස්වා භද්රභද්රයානයන් යොදවා මුණ්ඩරජුට තෙලබස් කී: දේවයෙනි, දේවතෙමේ යම් අර්ත්ථයකට දැන් කල් හඟනේ වේ නම් එයට භද්රභද්රයාන යුතු ව ඇතැ යි.
ඉක්බිති මුණ්ඩරජ භද්රභද්රයානයකට නැඟී භද්රයානයෙන් පරිවෘත ව කුක්කුටාරාමය කරා මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් නාරද තෙරණුවන් දක්නා සඳහා ගියේ. යානභූමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාදචාරීව ම අරමට පිවිසින.
ඉක්බිති මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් මුණ්ඩ රජුට ආයුෂ්මත් නාරද තෙරණුවෝ තෙල දහම් දෙසූහ:
මහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන මේ කරුණු පසෙකි. කවර පසෙක යත්:
‘ජරාධර්මය නහමක් දිරාව’යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ යම් ම කිසිවකුන් විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.
ව්යාධිධර්මය නහමක් පෙළාව යි ... මරණ ධර්මය නහමක් මියේව යි ... ක්ෂයධර්මය නහමක් කිය කෙරේව යි ... නශ්වරධර්මය නහමක් නො නස්සී ව යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.