5. 1. 5. 8.
[අලබ්භනීයඨාන සූත්රය]
[සාවත්ථිනිදාන යි:]
48. මහණෙනි, ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි, අන් කිසිවකු විසින් වේවයි නො ලද හැකි කරුණු පසෙකි. කවර පසෙක යත්:
“(මාගේ) ජරාධර්මය (ජරා ස්වභාව මා) නහමක් දිරාවා” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, අන් කවර කෙනකුදු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි. මාගේ ව්යාධිධර්මය මා නහමක් පෙළාවායි යනු ... මරණධර්මය නහමක් මියේවා”යි යනු ... ක්ෂයධර්මය නහමක් ක්ෂය කෙරේවා යි යනු ... නස්නා ස්වභාවය නහමක් නැසේවා යි” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි අන් කවරකු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි.
මහණෙනි, අශ්රැතවත් පෘථග්ජනයාගේ ජරාධර්මය දිරන්නේ ය. ජරාධර්මය දිරත් ම හෙ මෙසේ නුවණින් නො විමසයි: “එකලා මාගේ ම ජරාධර්මය නො දිරයි. වැලි යම් තාක් සත්ත්වයන්ගේ (ඉධාගමන සඞ්ඛ්යාත) ආගතිය (පරලෝක) ගතිය, ච්යුතිය, උපපත්තිය වේ නම් එ තාක් සියලු සත්ත්වයන්ගේ ජරාධර්මය දිරන්නේ ය. ජරාධර්මය දිරත් ම මමත් ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්ණභාවය වැදගන්නේ ය. කර්මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්රයෝ ද සතුටුසිතැති වන්නාහ. මිත්රයෝ ද නොසතුටුසිතැත්තාහු වන්නාහ” කියා යි. හෙ ජරාධර්මය දිරත් ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. පරිදේවනා කරයි. ළෙහි අත් පැහැර හඬයි. සිහිමුළාවට යෙයි. මහණෙනි, මෙ අශ්රැතවත් පෘථග්ජන විසැති සෝහුලින් විදුනා ලදුයේ ම තමන් තවා ය යි කියනු ලැබේ.
තව ද මහණෙනි, අශ්රැතවත් පෘථග්ජනයාගේ ව්යාධිධර්මය පෙළයි ... මරණධර්මය මැරේ ... ක්ෂයධර්මය ක්ෂීණ වේ ... නස්නා ධර්මය නැසේ. හේ නස්නාසැහැවිය නැසෙත් ම මෙසේ නුවණින් නො විමසන්නේ ය: “එකලා මාගේ ම නස්නා ධර්මය නො නස්නේ ය. වැලිත් යම් තාක් සත්ත්වයන්ගේ ආගතිය, ගතිය, ච්යුතිය, උපප්රාප්තිය වේ නම්, එ තාක් හැම සතුන්ගේ නස්නා ධර්මය නස්නේ ය. මමත් නශ්යමානධර්මය නසුත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම් පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සම්මෝහයට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්ණභාවය වදනේ ය. කර්මාන්තයෝ ද නො පවත්නාහ. අමිතුරෝ ද සතුටු සිතැත්තාහු වන්නාහ. මිතුරෝ ද නොසතුටු සිතැත්තාහු වන්නාහ’ කියා යි. නස්නාසැහැවිය නසුත් ම හෙ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත් පැහැර හඬයි. සම්මෝහයට යෙයි. මහණෙනි මෙ අශ්රැතවත් පෘථග්ජන විෂ සහිත ශෝකශල්යයෙන් විදුනා ලදුයේ ආත්මභාවය තවනේ ය යි කියනු ලැබේ.
මහණෙනි, ශ්රැතවත් අරීසවුහුගේ ද ජරාධර්මය දිරන්නේ ය. හෙ ජරා ධර්මය දිරත් ම මෙසේ නුවණින් විමසා බලයි. “හුදෙකලා මාගේ ම ජරා ධර්මය නො දිරන්නේ ය. වැලිත් යම් තාක් සත්ත්වයන්ගේ ඊම, යාම, මැරීම, උපදීම වේ නම්, එ තාක් හැම සත්ත්වයන් ගේ ජරාධර්මය දිරයි. මමත් ජරාධර්මය දිරත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කරම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට පැමිණෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිත් දුර්වර්ණභාවය වැද ගන්නේ ය. කර්මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්රයෝ ද තුටු වන්නාහ. මිත්රයෝ ද නොසතුටු වන්නාහ” කියා යි. හෙ ජරාධර්මය දිරත් ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කෙරෙයි. ළෙහි අත් හැහැර නො හඬයි. සම්මෝහයට නො යෙයි. මහණෙනි, මෙ අරීසවු යම් සෝහුලෙකින් අශ්රැතවත් පෘථග්ජන ආත්මභාවය තවා නම්, එ සවිෂ ශෝකශල්ය උදුළේ ය යි කියනු ලැබේ. ශෝක නැතියේ විගතශල්ය වූ ආර්ය්යශ්රාවක ආත්මභාවය පිරිනිවන්නේ (නිවාලන්නේ) ය.
තවද මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාගේ ව්යාධිධර්මය ව්යාධි කෙරෙයි ... මරණධර්මය මියෙයි ... ක්ෂයධර්මය ක්ෂීණ කෙරෙයි ... නස්නා ධර්මය නස්සි. හේ නස්නා දහම නට කල මෙසේ නුවණින් සලකයි: “එකලා මාගේ ම නස්නා දහම නො නස්නේ ය. වැලිදු යම් පමණ සත්ත්වයන්ගේ ආගතිය, ගතිය, චුතිය, උපපත්තිය වේ නම්’ එ හැම සතුන්ගේ නස්නා දහම නස්නේ ය. මම නස්නා දහම නට කල සොස්නෙම් නම්, කිලත් වෙම් නම්, වලප්නෙම් නම්, ලමඩියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, මුළාබවට වදනෙම් නම්, මට බත ද නො රුස්නේ ය. සිරුරෙහි ද දුර්වර්ණභාවය බස්නේ ය. කමත්හු ද නො පවත්නාහ. අමිත්රයෝ ද සතුටුසිතැති වෙති. මිත්රයෝ ද නො සතුටු වෙති”යි. හේ නස්නා දහම නට කල නො සොස්නේ ය. කලකුළු නො වන්නේ ය. නො වලප්නේ ය. ලමඩියෙහි අත් පැහැරැ නො හඬන්නේ ය. මුළාබවට නො වදනේ ය. මහණෙනි, මේ අරීසවු ශ්රැතවත් වූයේ, යමෙකින් විත්කෑ අශ්රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ වේ ද, ඒ විස සහිත සෝහුල උපුළේ ය යි ද, නිශ්ශෝක වූ ආර්ය්යශ්රාවක තමා ම පිරිනිවන්නේ ය යි ද කියනු ලැබේ.