5. 1. 5. 4.
[මනාපදායී සූත්රය]
44. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කරණ සේක. එ කල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ විසල්පුර වැසි උග්ර ගෘහපතිහුගේ නිවෙස්න කරා එළැඹි සේක. එළැඹ පන්වාලු අස්නෙහි වැඩහුන් සේක. එ කල්හි විසල්පුර වැසි උග්ර ගෘහපති භාග්යවතුන් වහන්සේ කරා එළැඹ, භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් විසල්පුර වැසි උග්ර ගෘහපති භාග්යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, ‘මනාප දැ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි. මට සල්පුප් (සිවුමියුරු යොදා සල්පිටියෙන් සල්මල් බඳු කොට තැනූ) කැවුම් මනාප ය. භාග්යවතුන් වහන්සේ අනුකම්පා කොට මාගේ ඒ ඛාද්යය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට ඩෙබරපල මුසු (කොට පිසූ එක් හැවිරිදි) හූරුමස් මනාප ය. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ සූකරමාංසය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට තෙලින් වැටූ (හල්පිටි සමඟ මැඩ දුරු ඈ යෙදූ ගිතෙලෙහි පිස චතුමධුර යොදා තැනූ) නැළිපලා මනාප ය. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ නැළිපලා පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට නඟාලූ කළුසහල් ඇති නොයෙක් සූප ඇති නොයෙක් බ්යඤ්ජන ඇති හැල්සහලින් කළ බත මනාප ය. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ ඕදනය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මන වඩනා දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙන් අසන ලදි. හමුයෙන් පිළිගන්නා ලදි. වහන්ස, මට කසීසළු මනාප ය. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ කසීසළු පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මන වඩන දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්යවතුන් වහන්සේ හමුයෙන් අසන ලද. හමුයෙන් පිළිගන්නා ලද. වහන්ස, මට (සිවු අඟලකට වැඩි ලොම් ඇති) කළු කොඳුපලස් අතුළ, එළුලොම්මුවා සුදු ඇතිරි අතුළ, ඝනපුප් ඇති එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සම් ඇතිරි අතුළ, (රත්) උඩුවියන් සහිත වූ, දෙපස තැබූ රත්කන්වයින් ඇති පලඟ මන වඩනේ ය. වහන්ස, එතෙකුදුවත් ‘තෙලෙ භාග්යවතුන් වහන්සේට කැප නො වෙයි’ යන මෙ කරුණ අපි දු දනුම්හ. වහන්ස, මාගේ මේ සඳුන්පුවරුකඩ අයිරාදහසක් අගනේ ය. භාග්යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ චන්දනඵලකය පිළිගන්නා සේක්ව” යි බුදුහු අනුකම්පා පෙරදැරි කොට එය පිළිගත්හ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ විසල්පුරවැසි උග්ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කළ සේක:
46. මන වඩන දැ දෙනුයේ මන වඩන දැයක් ලබයි. යමෙක් කායාදීන් ඍජු වූවන් විෂයෙහි ප්රේමයෙන් යුක්ත ව හඳනා පොරෝනා වස්ත්ර ද ශයනාසන ද යළි ආහාරපාන ද නන් වැදෑරුම් ප්රත්යය ද දෙයි ද -
47. රහතුන් (පුණ්යවිරූහණාර්ත්ථයෙන්) ක්ෂේත්රසදෘශ කොට සලකා සිතින් අගෘහීත ව (අපේක්ෂාරහිත ව) පරිත්යාග කරණ ලද්දේත් මුදන ලද්දේත් වේ ද, ත්යාගයට දුෂ්කර දැන ත්යාග කොට දෙන ඒ සත්පුරුෂ මන වඩන දැය ලබා”යී.
අනතුරුව භාග්යවතුන් වහන්සේ විසාලානුවර වැසි උග්ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කොට හුනස්නෙන් නැඟී නික්මුනු සේක. ඉක්බිති විසාලාවැසි උග්ර ගෘහපති පසු කලෙක කලුරිය කෙළේ ය. තවද කලුරිය කළා වූ ම විසල්වැසි උග්ර ගෘහපති ධ්යාන සිතින් උපන් එක්තරා (සුද්ධාවාස) දේවකායකට පිළිසඳ විසින් පැමිණියේ ය.