5. 1. 5. 3.
[ඉට්ඨධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි:]
43. එ කල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ගත. එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවිහට බුදුහු තෙල වදාළ සේක:
ගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්:
ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්‍ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්‍ණය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භෝගපරිවාර) දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්‍ගයෝ දුර්‍ලභවූවාහු වෙත්.
ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ මේ පඤ්චධර්‍මයෝ දුර්‍ලභ වූවාහු වෙත්.
ගැහැවිය, ලොව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ පඤ්චධර්‍මයන් ආයාචනාහේතුයෙන් වේවයි ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් වේවයි ප්‍රතිලාභය නො කියමි. ගැහැවිය, ආයාචනාහේතුයෙන් වේවයි ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් වේවයි ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ දුර්‍ලභ වූ මේ පඤ්චධර්‍මයන්ගේ ලැබීමෙක් වේ නම් මෙ ලොව කවරෙක් කිමෙකින් පිරිහේ ද?
ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ආයුෂය යදනට හෝ කැමැති වන්නට හෝ ආයුෂයට රිසි වන්නට හෝ සුදුසු නො වෙයි. ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ආයු පිණිස පවත්නා (දන් සිල් ඈ) පුණ්‍යප්‍රතිපදාව පිළිපැදිය උතු ය. ඔහු විසින් ප්‍රතිපාදාන කළ අයුසංවත්තනික පුණ්‍යප්‍රතිපදාව ආයු ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.
ගැහැවිය, ශරීරවර්‍ණ කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ශරීරවර්‍ණය යදනට හෝ කැමැති වන්නට හෝ ශරීරවර්‍ණයට රිසි වන්නට හෝ අර්‍හ නො වෙයි. ගැහැවිය, වර්‍ණය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් වර්‍ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ වර්‍ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ශරීරවර්‍ණප්‍රතිලාභය පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ශරීරවර්‍ණ ලබන්නේ වෙයි.
ගැහැවිය, සුව කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක සුවය යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ සුවයට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, සුව කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් සුව පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ සුඛසංවත්තනික වූ පුණ්‍යප්‍රතිපදාව සුව ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ සුවය ලබන්නේ වෙයි.
ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක යශස් යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ යශසට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව යශස්ප්‍රතිලාභය පිණිස පවත්නී ම ය: එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ යශස් ලබන්නේ වෙයි.
ගැහැවිය, ස්වර්‍ගය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ස්වර්‍ගය යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ ස්වර්‍ගයට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, ස්වර්‍ගය කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ස්වර්‍ගය පිණිස පවත්නා (දානශීලාදි) පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ ස්වර්‍ගය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ස්වර්‍ගප්‍රතිලාභයට වැටේ ම ය. එහෙයින් හේ ස්වර්‍ගයන් ලබන්නේ වේ.
43. ආයුෂ ය, ශරීරවර්‍ණ ය, පරිවාර යශස් ය, කීර්ති ය, ස්වර්‍ග ය, උසස් කුලවත් බව ය යන උදාර වූ කාමරතීන් වෙන් වෙන් සේ පතනුවහු විසින් -
44-45. පුණ්‍යක්‍රියායෙහි නොපමා වීම බුද්ධාදි පණ්ඩිතයෝ පසසති. (කුශලයෙහි) අප්‍රමත්ත වූ පණ්ඩිත තෙම දෘෂ්ටධර්‍මයෙහි වූ යම් අර්‍ත්‍ථයෙකුත් වේ ද, සාම්පරායික වූ යම් අර්‍ත්‍ථයෙකුත් වේ ද, ඒ උභයාර්‍ත්‍ථයන් ලබයි. උභයාර්‍ත්‍ථයාගේ ප්‍රතිලාභයෙන් ධීරයා පණ්ඩිතයෙකැ යි කියනු ලැබේ.
5. 1. 5. 4.
[මනාපදායී සූත්‍රය]
44. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කරණ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ විසල්පුර වැසි උග්‍ර ගෘහපතිහුගේ නිවෙස්න කරා එළැඹි සේක. එළැඹ පන්වාලු අස්නෙහි වැඩහුන් සේක. එ කල්හි විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“වහන්ස, ‘මනාප දැ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි. මට සල්පුප් (සිවුමියුරු යොදා සල්පිටියෙන් සල්මල් බඳු කොට තැනූ) කැවුම් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට මාගේ ඒ ඛාද්‍යය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට ඩෙබරපල මුසු (කොට පිසූ එක් හැවිරිදි) හූරුමස් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ සූකරමාංසය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.