5. 1. 5. 2.
[සප්පුරිස සූත්රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, කුලයෙහි උපදනා සත්පුරුෂ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස් කම්කරුපුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
මහණෙනි, යම් සෙ වට මහවැසි හැම සස්වග සපයනුයේ බොහෝ දෙන හට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂ කුලයෙහි උපදනේ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි: දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස්කම්කරු පුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
41. (සත්පුරුෂ වූ යමෙක්) උපභෝග පරිභෝග සම්පත් ලැබ මාපිය ඈ බොහෝ දෙනහට හිත වූයේ ද, ඔහු ලෝපල් දෙවි රක්නේ ය. දෙවියන් විසින් රක්නා ලද බොහෝ ඇසුපිරු තැන් ඇති, ශීලය හා ව්රතයෙන් සමෘද්ධ වූ දස කුසල් දහම්හි සිටියහු කීර්ත්තිය නො හරී.
42. දහම්හි සිටි ශීලයෙන් සමෘද්ධ වූ සත්යවාදී වූ අකුසලින් හැකිළෙන සිතැති ඔහු ජාම්බොනදසුවර්ණයාගේ නිෂ්කයක් සෙයින් නිගන්නට කවරෙක් අර්හ වේ ද, දෙවියෝත් ඔහු පසසති. බඹහු විසිනුදු හේ පසස්නා ලද්දේ යි.
5. 1. 5. 3.
[ඉට්ඨධම්ම සූත්රය]
[සැවැත්නිදාන යි:]
43. එ කල අනේපිඬු ගැහැවි භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්යවතුන් වහන්සේ පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ගත. එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවිහට බුදුහු තෙල වදාළ සේක:
ගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්:
ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්ණය දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භෝගපරිවාර) දුර්ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්ගයෝ දුර්ලභවූවාහු වෙත්.
ගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ මේ පඤ්චධර්මයෝ දුර්ලභ වූවාහු වෙත්.
ගැහැවිය, ලොව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ පඤ්චධර්මයන් ආයාචනාහේතුයෙන් වේවයි ප්රාර්ත්ථනාහේතුයෙන් වේවයි ප්රතිලාභය නො කියමි. ගැහැවිය, ආයාචනාහේතුයෙන් වේවයි ප්රාර්ත්ථනාහේතුයෙන් වේවයි ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ දුර්ලභ වූ මේ පඤ්චධර්මයන්ගේ ලැබීමෙක් වේ නම් මෙ ලොව කවරෙක් කිමෙකින් පිරිහේ ද?
ගැහැවිය, ආයු කැමැති වූ ආර්ය්යශ්රාවක ආයුෂය යදනට හෝ කැමැති වන්නට හෝ ආයුෂයට රිසි වන්නට හෝ සුදුසු නො වෙයි. ගැහැවිය, ආයු කැමැති වූ ආර්ය්යශ්රාවකයා විසින් ආයු පිණිස පවත්නා (දන් සිල් ඈ) පුණ්යප්රතිපදාව පිළිපැදිය උතු ය. ඔහු විසින් ප්රතිපාදාන කළ අයුසංවත්තනික පුණ්යප්රතිපදාව ආයු ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්ය වූ හෝ මානුෂ්ය වූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.
ගැහැවිය, ශරීරවර්ණ කැමැති වූ ආර්ය්යශ්රාවක ශරීරවර්ණය යදනට හෝ කැමැති වන්නට හෝ ශරීරවර්ණයට රිසි වන්නට හෝ අර්හ නො වෙයි. ගැහැවිය, වර්ණය කැමැති වූ ආර්ය්යශ්රාවකයා විසින් වර්ණය පිණිස පවත්නා පුණ්යප්රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්රතිපාදනා කළ වර්ණය පිණිස පවත්නා පුණ්යප්රතිපදාව ශරීරවර්ණප්රතිලාභය පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්ය වූ හෝ මානුෂ්ය වූ හෝ ශරීරවර්ණ ලබන්නේ වෙයි.
ගැහැවිය, සුව කැමැති වූ ආර්ය්යශ්රාවක සුවය යදනට හෝ අභිනන්දනා කරන්නට හෝ සුවයට රිසි වන්නට හෝ නො ම අර්හ වෙයි. ගැහැවිය, සුව කැමැති ආර්ය්යශ්රාවකයා විසින් සුව පිණිස පවත්නා පුණ්යප්රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්රතිපාදනා කළ සුඛසංවත්තනික වූ පුණ්යප්රතිපදාව සුව ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්ය වූ හෝ මානුෂ්ය වූ හෝ සුවය ලබන්නේ වෙයි.