4. 5. 5. 3.
[සික්ඛාපදානිසංස සූත්‍රය]
45. මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උතුම් කොට ඇති, විමුක්ති හර කොට ඇති, ස්‍මෘති ආධිපත්‍යය කොට ඇති, මෙ බඹසර වසනු ලැබේ.
මහණෙනි, මේ බඹසර කෙසේ ශික්‍ෂා අනුසස් කොට ඇත්තේය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස ආභිසමාචාරික (උතුම්වත් පිළිබඳ) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස සව්වනට ආභිසමාචාරික ශික්‍ෂා පණවන ලද ද, ඒ ඒ සැටියෙන් හේ (ශික්‍ෂාකාමී මහණ තෙම) ඒ ශික්‍ෂායෙහි අඛණ්‍ඩකාරී වේ. අච්‍ඡිද්‍රකාරී වේ. අශබලකාරී වේ. අකල්මාෂකාරී වේ. මොනොවට සමාදන්ව ශික්‍ෂාපදයෙහි හික්මේ. තව ද, මහණෙනි, මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍ය (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට මුල් වූ සංවර) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු ද, ඒ ඒ සැටියෙන් හේ ඒ ශික්‍ෂායෙහි අඛණ්ඩකාරී වෙයි. අච්ඡිද්‍රකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මොනොවට සමාදන් ව ශික්‍ෂාපදයෙහි හික්මෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර ශික්‍ෂා අනුසස් කොට ඇති වෙයි.
මහණෙනි, බඹසර කෙසේ ප්‍රඥාව උත්තර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස චතුඃසත්‍ය ධර්‍මයෝ දෙසන ලදහ. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥාව උත්තර කොට ඇති වෙයි.
මහණෙනි, බඹසර කෙසේ විමුක්තිය සාර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි මා විසින් සර්‍වප්‍රකාරයෙන් දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලදී. මහණෙනි, යම් යම් සැටියකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ විමුක්ති (ඥාන) යෙන් පහස්නා ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ බඹසර ස්‍මෘතිය ආධිපත්‍යය කොට ඇත්තේය යත්: මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනාප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි තමා සතන්හි ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනා ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙහි. මෙසේ මාර්‍ගප්‍රඥායෙන් නො දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය මාර්‍ගප්‍රඥායෙන් දක්මි යි මාර්‍ගප්‍රඥායෙන් දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය ඒ ඒ තැන මාර්‍ගප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ ඥානස්පර්‍ශයෙන් නො පහස්නා ලද ධර්‍මය අර්‍හත්ඵලවිමුක්තියෙන් පහස්නෙමි යි පහස්නා ලද හෝ ධර්‍මය ඒ ඒ තැන ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මහණෙනි, මෙසේ බඹසර ස්මෘතිය අධිපති කොට ඇති වෙයි.
මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උත්තර කොට ඇති, විමුක්තිය හර කොට ඇති, ස්මෘතිය ආධිපත්‍යය කොට ඇති, මේ බඹසර වැසේය යි මෙසේ යමක් වදාරණ ලද ද, මෙය තෙල කරුණ පිණිස වදාරණ ලදී.
4. 5. 5. 4.
[සෙය්‍යා සූත්‍රය]
46. මහණෙනි, මේ ශය්‍යාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්‍රේතශය්‍යා ය, කාමභෝගීශය්‍යා, සිංහශය්‍යා ය, තථාගතශය්‍යා යි.
මහණෙනි, ප්‍රේතශය්‍යා කවර? මහණෙනි, මළාහු උඩුහුරුව හොවිත්. මහණෙනි, මේ ප්‍රේතශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, කාමභෝගීශය්‍යා නම් කවර? මහණෙනි, බෙහෙවින් කාමභොගීහු වම්පසින් හොවිත්. මහණෙනි, මේ කාමභෝගීශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, සිංහශය්‍යා නම් කවර? මහණෙනි, මෘගරාජන් වූ සිංහ පාපිට පය මඳක් ඇද තබා දෙකළවේ අතර නගුට බහා තබා දකුණු ඇළයෙන් ශය්‍යා කෙරෙයි. හේ පිබිද උඩුකය නගාගෙණ යටකය විමසා බලයි. මහණෙනි, ඉදින් මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් ඉදින් දක්නේ නම් මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ නො සතුටු වෙයි. මහණෙනි, මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් නොදක්නේ නම්, මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ සතුටු වෙහි. මහණෙනි, මෙ සිංහශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, තථාගතශය්‍යා නම් කවර? මහණෙනි, මෙලොව තථාගතයන් වහන්සේ කාමයෙන් වෙන්ව ම … ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙති. මහණෙනි, මේ තථාගතශය්‍යා යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ශය්‍යාවෝ යි.
4. 5. 5. 5.
[ථූපාරහ සූත්‍රය]
47. මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්‍රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි.
මහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.
4. 5. 5. 6.
[පඤ්ඤාවුද්ධි සූත්‍රය]
48. මහණෙනි, මේ සතර දහම් කෙනෙක් ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්. කවර සතර දහම් කෙනෙක යත්:
සත්පුරුෂයන් සෙවුනාබව ය, සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍මප්‍රතිපත් ය.
මහණෙනි, මේ සතර දහම්හු ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්.