5. ආපත්තිභය වර්ගය
4. 5. 5. 1.
[පාපභික්ඛු සූත්රය]
43. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ:
කිම ආනන්දය, ඒ (උපන්) අධිකරණය සන්සිඳුනේ වේ ද? “වහන්ස, කෙසේ ඒ අධිකරණ සන්සිඳෙන්නේ වේ ද, වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධිවිහාරිකයෙක් වටාගෙණ සඟුන් හි විරුද්ධවාදයට සිටියේ ය. එහි ලා ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ එක් බසකුත් බිණියයුතු සේ නහමක් සිතත්.”
ආනන්දය, කිනම් දිනෙක අනුරුද්ධ සඟුන් මැද අධිකරණයෙහි අනුයෝගවතට නැගේ ද, ආනන්දය, යම්කිසි අධිකරණ කෙනෙක් ඇද්ද, එ හැම තෙපි හෝ සන්සිඳුවන්නාහු නො වේ ද, සැරියුත් මුගලන් දෙනම හෝ සන්සිඳුවන්නාහු නො වේ ද,
ආනන්දය, මේ සතර කරුණක් දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් සතුටු වෙයි. කවර සතර කරුණෙක යත්:
ආනන්දය, මෙසස්නෙහි පවිටු මහණ දුසිල් වූයේ, ලමුදහම් ඇතියේ, කෙලෙසුන් විසින් අපවිත්ර වූයේ, සැකයෙන් සිහිකළ යුතු හැසිරීම් ඇතියේ, පිළිසන් කර්මාන්ත ඇතියේ, අශ්රමණ වූයේත්, ‘ශ්රමණයෙමි යි’ ප්රතිඥා කරණුයේ, අබ්රහ්මචාරී වූයේත්, ‘බ්රහ්මචාරීමි’ යි ප්රතිඥා කරණුයේ, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයේ, කෙලෙසුන් විසින් තෙත් වූයේ, හටගත් කෙලෙස්කසළ ඇතියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු සිල් නැත්තෙක, පාපධර්ම ඇත්තෙක, කෙලෙසුන් විසින් අපවිත්රයෙක, සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇත්තෙක, පිළිසන් කර්මාන්ත ඇත්තෙක, අශ්රමණ වූයේත් ‘ශ්රමණයෙමි’ යි ප්රතිඥා කරන්නෙක, අබ්රහ්මචාරී වූයේත්, ‘බ්රහ්මචාරීමි’ යි ප්රතිඥා කරන්නෙක, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයෙක, කෙලෙසුන් විසින් තෙත් වූයෙක, උපන් කෙලෙස් කසළ ඇතියෙකැ’ යි මා දනිත් නම් සමග වූ ඒ මහණහු මා නෙරත්. වැලිත් වර්ග වූවාහු මා නො නෙරත්” කියා යි ආනන්දය, මේ පළමුවන කරුණ දක්මින් පවිවු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
තවද ආනන්දය, පවිටු මහණ මිසදුටු ඇතියේ අන්තග්රාහදෘෂ්ටියෙන් සමන්වාගත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් භික්ෂූහු මිථ්යාදෘෂ්ටිකයෙක, අන්තග්රාහදෘෂ්ටියෙන් සමන්වාගතයෙකැ’ යි මා දනිත් ද, සමඟ වූවාහු මා නෙරත්. වර්ග වූවාහු මා නො නෙරත් ය” කියා යි. ආනන්දය, මේ දෙවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි:
තවද ආනන්දය, පවිටු මහණ මිථ්යාආජීව ඇති වෙයි. මිථ්යාආජීවයෙන් ජීවිකාව කෙරෙහි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘මිථ්යා ආජීව ඇතියෙක. මිථ්යා ආජීවයෙන් ජීවිකා කෙරේ ය’යි මා දනිත් නම්, සමග්ර වූවාහු මා නෙරත්, ව්යග්ර වූවාහු මා නො නෙරත්ය” කියා යි. ආනන්දය, මේ තුන්වන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
තවද ආනන්දය, පවිටු මහණ ලාභ කැමැති වෙයි. සත්කාර කැමැති වෙයි. නොගරහනු කැමැති වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘ලාභ කැමතියෙක, සත්කාර කැමතියෙක, නොගරහනු කැමැතියෙකැ’ යි මා දනිත් නම්, සමග්ර වූවාහු මා නෙරත්, ගරු නො කෙරෙත්, බුහුමන් නො කෙරෙත්, නොපුදත්. ව්යග්ර වූවාහු මට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙති” යි කියා යි. ආනන්දය, මේ සතරවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
ආනන්දය, මේ සතර කරුණු දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
4. 5. 5. 2.
[ආපත්තිභය සූත්රය]
44. මහණෙනි, මේ ආපත්තිභය සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් පරිදි අපරාධ කරණ සොරහු ගෙණ රජුට දක්වත් ද, “දේවයෙනි, තොපට මේ සොරා අපරාධකාරීය. මොහුට දේවයෝ දඬුවම් එළවත්වා” කියා යි. රජ තුලුන් ගෙණ මෙසේ කිය යි: ‘භවත්නි, යව මේ මිනිසා දළරැහැණින් දොහොත් පිටත් කොට දැඩිසේ බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට හැද ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණු දික්හි හිස සිඳුව” කියා යි. රජුගේ පුරුෂයෝ ඒ සොරහු දළරැහැණින් දොහොත පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳිත්. එහි එකත්පස්ව සිටුනා අන්යතර පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, යම් කර්මයක් නිසා යම් පුරුෂයකු රජහුගේ පුරුෂයෝ දළරැහැණින් දෙ අත් පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඬු කොට කැකුළු හඬ ඇති පණාබෙරින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳින්නාහු ද, “මේ මිනිස් තෙමේ ගැරහිය යුතු හිස සිඳලිය යුතු එබඳු ලාමක කර්මයක් කෙළේම ය. හෙ මම නම් මෙබඳු ගැරහියයුතු හිස් සිඳියයුතු පාපකර්මයක් නො කෙරෙමි” යි.
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පරිජිදහම්හි මෙසේ තීව්රභය සංඥා එළඹ සිටී ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: පරිජිඅවැතට නො පැමිණියේ පරිජිඇවැතට නො පැමිණෙන්නේ ය. පරිජිඇවැතට අවන්නේ හෝ ධර්මානුරූප කොට ප්රතිකර්ම කරන්නේ ය (=හෙරණ බැව්හි සිටුනේ ය.)