4. 5. 5. 2.
[ආපත්තිභය සූත්රය]
44. මහණෙනි, මේ ආපත්තිභය සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් පරිදි අපරාධ කරණ සොරහු ගෙණ රජුට දක්වත් ද, “දේවයෙනි, තොපට මේ සොරා අපරාධකාරීය. මොහුට දේවයෝ දඬුවම් එළවත්වා” කියා යි. රජ තුලුන් ගෙණ මෙසේ කිය යි: ‘භවත්නි, යව මේ මිනිසා දළරැහැණින් දොහොත් පිටත් කොට දැඩිසේ බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට හැද ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණු දික්හි හිස සිඳුව” කියා යි. රජුගේ පුරුෂයෝ ඒ සොරහු දළරැහැණින් දොහොත පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳිත්. එහි එකත්පස්ව සිටුනා අන්යතර පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, යම් කර්මයක් නිසා යම් පුරුෂයකු රජහුගේ පුරුෂයෝ දළරැහැණින් දෙ අත් පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඬු කොට කැකුළු හඬ ඇති පණාබෙරින් වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳින්නාහු ද, “මේ මිනිස් තෙමේ ගැරහිය යුතු හිස සිඳලිය යුතු එබඳු ලාමක කර්මයක් කෙළේම ය. හෙ මම නම් මෙබඳු ගැරහියයුතු හිස් සිඳියයුතු පාපකර්මයක් නො කෙරෙමි” යි.
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පරිජිදහම්හි මෙසේ තීව්රභය සංඥා එළඹ සිටී ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: පරිජිඅවැතට නො පැමිණියේ පරිජිඇවැතට නො පැමිණෙන්නේ ය. පරිජිඇවැතට අවන්නේ හෝ ධර්මානුරූප කොට ප්රතිකර්ම කරන්නේ ය (=හෙරණ බැව්හි සිටුනේ ය.)
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: භවත්නි, මම ගැරහිය යුකු මොහොල් පහරට නිසි පාපකර්මයක් කෙළෙමි ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමෙකින් සතුටු වවු නම්, එය කෙරෙමි කියා යි එහි දී එකත්පස් ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු මොහොලින් පහර දිය යුතු පාපකර්මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද ඒ කෙරෙමි” යි යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කී ද’, මේ පුරුෂ ගැරහිය යුතු, මොහොලින් පහර දියයුතු, එබඳු පව්කමක් කෙළේය. හේ මම නම් එබඳු ගැරහිය යුතු මොහොලින් පහර දියයුතු පාපකර්මයක් නො කෙරෙම් ම ය.”
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණෙකුට හෝ මෙහෙණකට හෝ සඟවෙසෙස් ඇවැත්හි මෙබඳු තීව්රභයසංඥා එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: සඟවෙසෙස් ඇවතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. සඟවෙසෙස් ඇවතට අවන්නේ හෝ ධර්මානුකූල කොට ප්රතිකර්ම කරන්නේ ය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළු පොදියක් කර නගා ගෙණ මහාජනකායට වැඳ මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම හළුපොදියෙන් හිසැ පැහැරිය යුතු පාපකර්මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි” යි. එහිදී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු හළු පොදියෙන් හිස පහර දුනමනා පාපකර්මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළුපොදියක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කීයේ වේ ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු හළු පොදියක් නගා පහළ යුතු පාපකර්මයක් නො කෙරෙමි” යි.
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පචිති ඇවැත්හි මෙසේ තීව්ර වූ භය සංඥාව එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති විය යුතුය: පචිති ඇවැතට නො පැමිණියේ හෝ එයට නො අවදනේ යි. පචිති ඇවැතට අවන්නේ හෝ ධර්මානුකූල කොට ප්රතිකර්ම කරන්නේ ය.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම ගැරහිය යුතු උපවාද කළ යුතු පාපකර්මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි කියා යි. එහි දී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු උපවාද කළයුතු පාපකර්මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහාජනකායට අවුත් මෙසේ කී ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු උපවාද කළයුතු පව්කමක් නො කරමි” කියා යි
මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පාටිදේසනීය ඇවැත්නි මෙසේ තීව්ර වු භයසංඥාව එළඹ සිටී ද, ඔහුට මෙය කැමැති විය යුතුය: පාටිදේසනීය ඇවැතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. පාටිදේසනීය ඇවැතට අවන්නේ හෝ ධර්මානුකූල කොට ප්රතිකර්ම කරන්නේ ය කියා යි.
මහණෙනි, මෙ සතර ආපත්තිභයහ.