4. 4. 5. 10.
[පේම - දෝස සූත්‍රය]
50. මහණෙනි, මොහු සතර දෙනෙක් උපදනාහු ය. කවර සතර දෙනෙක යත්: ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය. ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
මහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට වූයේ කාන්ත වූයේ මනාප වූයේ වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: යම් මේ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත් ය යි හේ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
මහණෙනි, කෙසේ ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට ඉෂ්ට ද කාන්ත ද මනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප වචනයෙන් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට ඉෂ්ට කාන්ත මනාප වේ ද, පරහු ඔහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ප්‍රේමහේතුයෙන් ද්වේෂය උපදනේ ය.
මහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය යත්: මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ට අකාන්ත අමනාප වේ ද, පරහු උහු අනිෂ්ට අකාන්ත අමනාප බසින් බෙණෙති යි හෙ ඔවුන් කෙරෙහි පෙම් උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ප්‍රේමය උපදනේ ය.
මහණෙනි, කෙසේ ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය යත්: මහණෙනි, මේ ලොව පුද්ගලයෙක් පුද්ගලයක්හට අනිෂ්ට ද අකාන්ත ද අමනාප ද වෙයි. පරහු උහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙත්. ඔහට මෙවන් සිතෙක් වෙයි: යම් මෙ පුද්ගලයෙක් මට අනිෂ්ටත් අකාන්තත් අමනාපත් වේ ද, පරහු ඔහු ඉෂ්ට කාන්ත මනාප බසින් බෙණෙති යි හේ ඔවුන් කෙරෙහි ද්වේෂය උපදවයි. මහණෙනි, මෙ සෙයින් ද්වේෂහේතුයෙන් ද්වේෂය උපදනේ ය. මහණෙනි, මෙ සතර දෙනහු උපදිති.
මහණෙනි, යම් කලෙක මහණ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වේ. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වේ.
මහණෙනි, යම් කලෙක මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි.
මහණෙනි, මෙ මහණ (දෘෂ්ටි විසින්) නොම හුවන්නේ යයි, (ප්‍රතිවිරුද්ධව කලහ විග්‍රහ විසින්) නො හුවන්නේ යයි, (තෘෂ්ණා විචරිත විසින්) නො දුවන්නේය යි, (බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිත විසින්) නො දිලෙන්නේ ය යි, (අස්මීමාන විසින්) වෙන්කොට නො හඟනේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසෙයින් (දෘෂ්ටි විසින්) හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දක්නේ ය. වේදනාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ වේදනාව ආත්මයෙහි ලා හෝ ආත්මය වේදනායෙහි ලා හෝ දක්නේය. සංඥාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ සංඥාව ආත්මයෙහි ලා හෝ ආත්මය සංඥායෙහි ලා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ ආත්මය සංස්කාරයෙහි ලා හෝ දක්නේය. විඥානය ආත්ම විසින් දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දක්නේය. මහණෙනි, මෙ සෙයින් මහණ දෘෂ්ටි විසින් හුවන්නේය.