4. 4. 3. 4.
[ආනන්ද සූත්රය]
24. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, එසේ නො කියව” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.”
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේදැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මත්තෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්දැ නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නොකියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්ත්ථය දතයුතු වේ ද?
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැයි මෙසේ කියනුයේ, ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි මෙසේ කියනුයේ ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ වෙයි, නැත්තේ හෝ වෙයි, මෙසේ කියනුයේ, ප්රපඤ්ච නො කටයුතු තැන ප්රපඤ්ච කෙරෙයි.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ගතිය යම්තාක් වේ ද, ඒතාක් ප්රපඤ්චයාගේ ගතිය වෙයි. ප්රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් ප්රපඤ්චනිරෝධය වෙයි. ප්රපඤ්චනිරෝධයෙන් ප්රපඤ්ච නිවීම වෙයි.
4. 4. 3. 5.
උපවාන සූත්රය
25. එසඳ ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
කිම ඇවැත්නි, ශාරීපුත්රයෙනි, විද්යායෙන් සසරවට කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙය නො වේ.” කිම ඇවැත් ශාරීපුත්රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්රයෙනි, විද්යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්රයෙනි, විද්යාචරණ හැර වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.”
කිම ඇවැත් ශාරීපුත්රයෙනි, විද්යායෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි, “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්රයෙනි, විද්යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්රයෙනි, විද්යාචරණ විනා වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘ඇවැත්නි, මෙය නො වෙති’ යි බෙණෙහි. ඇවැත්නි, කෙසේ වටදුක් කෙළවර කරන්නේ වේ ද?