4. 4. 2. 9.
[කිලේස පරිනිබ්බාන සූත්රය]
19. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි. මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නේ ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි අනභිරතසංඥා ඇත්තේ සියලු සංස්කාරයෙහි අනිත්යය නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණ සංඥාව මැනවින් එළඹ සිටිනී වෙයි. හේ මේ පඤ්චසේඛබලයන් ඇසුරු කොට වෙසෙයි: ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබල ය, ප්රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්ද්රියයෝ අධිමාත්ර ව පහළවෙත්: ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්ර ව ඇතියෙන් මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලු වූයේ ආහාරයෙහි පිළිකුල් සන් ඇතියේ මුළුලොව නොඇලුනු සන් ඇතියේ සව්සකරෙහි අනිස නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුට මරණසංඥාව සිත තුළ සූපස්ථිත වෙයි. හේ මේ පඤ්චශෛක්ෂබලයන් උපනිඃශ්රය කොට ගෙණ වෙසෙයි: ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබල ය, ප්රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්ද්රියයෝ මෘදු ව වටහත්: ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය යි. හේ මේ පසිඳුරන්ගේ මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබල ය, ප්රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්ද්රියයෝ අධිමාත්ර ව පහළ වෙත්: ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්ර බැවින් දිටුදැමියෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ පුද්ගල ඉහාත්මයෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්ත්ථධ්යානයට එළඹ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්රද්ධාබල ය, හ්රීබල ය, අපත්රපාබල ය, වීර්ය්යබල ය, ප්රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්ද්රියයෝ මෘදු ව පහළ වෙත්: ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධීන්ද්රිය ය, ප්රඥේන්ද්රිය යි. හේ මේ පසිඳුරන් මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්යමානයහ.