4. 4. 2. 10.
[අරහත්තප්පතති සූත්රය]
20. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “ඇවැත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල ප්රකාශ කළහ:
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි මා කෙරෙහි අර්හත්ත්වප්රාප්තිය පවසා ද, ඒ හැම සතර මගින් හෝ මොවුන් අතුරෙන් එක්තරා එකෙකින් හෝ වෙයි. කවර සතර මගින යත්:
ඇවැත්නි, මෙසස්නෙහි මහණ සමථ පූර්වඞ්ගම කොට විවසුන් භවයි. සමථපූර්වඞ්ගම කොට විවසුන් වඩන උහුට ප්රථම ලෝකෝත්තර මාර්ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සඤ්ඤෝජනයෝ ප්රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණ විදර්ශනා පූර්වඞ්ගම කොට සමථය වඩයි. විදර්ශනාපූර්වඞ්ගම කොට සමථය වඩන උහුට මාර්ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණ සමථ විදර්ශනා යුගනද්ධ කොට ගෙණ වඩයි. විදර්ශනා යුගනද්ධ කොට ගෙණ වඩන ඔහුට මාර්ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණහට සමථ විදර්ශනා ධර්මයෙහි දශෝපක්ලේශ සඞ්ඛ්යාත උද්ධතභාවයෙන් පෙළා ගත් අධිමානය වෙයි. ඇවැත්නි යම් කලෙක ඒ විදර්ශනාවීථියට බැසගත් සිත ගෝචර සඞ්ඛ්යාත ආධ්යාත්ම ආලම්බනයෙහි ම පිහිටා ද, සන්හිඳී ද, එකඟ වේ ද, සමාහිත වේ ද, එබඳු කාලයෙක් වෙයි. ඔහුට මාර්ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
ඇවැත්නි, යම් කිසි මහණෙක් වේවයි මෙහෙණක් වේවයි මා කෙරෙහි අර්හත්ත්වප්රාප්තිය පවසා ද, එ හැම මේ සතර මගින් හෝ මොවුනතුරෙන් එක්තරා එකෙකින් හෝ පවසත්.
ප්රතිපදාවර්ගය දෙවැනි යි.
3. සඤ්චේතනිය වර්ගය
4. 4. 3. 1.
[සඤ්චේතනා සූත්රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, කායවිඥප්තිය ඇතිවත් ම කායද්වාරයෙහි පැවැති කුශලාකුශල සඞ්ඛ්යාත විංශත් සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, වාග්විඥප්තිය ඇතිවත් ම වාග්ද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, මනෝද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. අවිද්යා ප්රත්යයෙන් ම උපදි යි.
මහණෙනි, යමක් ප්රත්යය කොට ගෙණ ඔහට තමා තුළ සුව දුක් උපදනේ ද, තෙමේ ම හෝ ඒ කායසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් තමා තුළ ඒ සුව දුක් ඔහට උපදනේ ද, පරහු හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරෙත්. (ඔහු ලවා කරවත්). මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ (කුසලාකුසල විපාක දැන) හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඕහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුව දුක් උපදනේ ද, නො දන්නේ හෝ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙර්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ.
මහණෙනි, මේ චේතනාධර්මයෙහි අවිද්යාව සහජාත උපනිඃශ්රය වශයෙන් ලුහුබැඳුනු ය. යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, අවිද්යාවගේ ම නිඃශේෂ විරාගයෙන් හා නිරෝධයෙන් ඒ කායවිඥප්තිය නො වේ. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ වාග්විඥප්තිය ද නො වෙයි. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ මනෝද්වාරය නො වේ.