4. 4. 2. 6.
[සවැනි ප්‍රතිපදා සූත්‍රය]
16. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්‍රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක.
මහණෙනි, එහි ලා යම් මේ දුක් වූ දන්‍ධාභිඥ වූ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක් වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දන්‍ධාභිඥ වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදාව මෙසේ දෙපසින් ම හීන ය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා දුක් වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීනය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා සුව වූ දන්‍ධාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දන්‍ධ බැවින් හීනය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා සුව වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීතය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් සුව වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් ක්‍ෂිප්‍රාභිඥ වේ ද මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීත ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
4. 4. 2. 7.
[මොග්ගල්ලානපටිපදා සූත්‍රය]
17. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් හා සතුටු වූහ. සතුටට හේතු වූ ස්මරණීය කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් මුගලනෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද?
ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් නො සරස් ව ප්‍රතිවේධ ගන්නා යම් මේ දුක් වූ ප්‍රතිපදාවක් වේ ද, ක්‍ෂිප්‍රාභිඥ මේ ප්‍රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදින.