4. 4. 2. 5.
[පස්වැනි ප්රතිපදා සූත්රය]
15. මහණෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අක්ඛමා පටිපදා ය, ඛමා පටිපදා ය, දමා පටිපදා ය, සමා පටිපදා යී.
මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීත උෂ්ණ බඩසය පවස මැසි මදුරු වා අව් දිග්දැහැ යන මුන්ගේ පහස් නොඉවසන්නේ වෙයි. නපුරු කොට බිණූ නපුරු කොට පැමිණි වචනයන් ද, දුක් වූ තීව්ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්රාණහර වූ ශරීරසන්නිහිත වේදනාවන් නොඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීතය උෂ්ණය ඉවසන්නේ වෙයි. ... ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිති නොගන්නාසුලු වෙයි ... කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පහස වැද ... සිතින් දහම් දැනැ නිමිති නොගන්නාසුලු වෙයි. අනුව්යඤ්ජන නොගන්නාසුලු වෙයි. යම් හෙයෙකින් මනින්ද්රියය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්යාත පාපක අකුශලධර්මයෝ ලුහුබැඳ ගණිත් ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්ද්රියය රක්නේ මනින්ද්රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදාය යි කියනු ලැබේ.
මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්ක නො ඉවසයි, දුරු කෙරේ, විනෝදනය කෙරේ, සංසිඳුවයි, පිරිසිඳලයි, අනභාවයට පමුණුවයි. උපන් ව්යාපාද විතර්ක ... උපන් විහිංසාවිතර්ක ... උපනුපන් ලමු අකුසල දහම් නො ඉවසයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සංහිඳුවයි, විගතාන්ත කෙරේයි, අභාවයට යවයි. මහණෙනි, මේ සමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපදා වෝ යි.
4. 4. 2. 6.
[සවැනි ප්රතිපදා සූත්රය]
16. මහණෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක් වූ ප්රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්රතිපදා ඇති ශීඝ්ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්රතිපදා ඇති ශීඝ්ර වූ අභිඥා ඇති එකෙක.
මහණෙනි, එහි ලා යම් මේ දුක් වූ දන්ධාභිඥ වූ ප්රතිපදාවක් වේ ද, මේ ප්රතිපදාව දෙපසින් ම හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්රතිපදාවක් දුක් වේ ද, මෙයිනුදු මේ ප්රතිපදාව හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්රතිපදාවක් දන්ධාභිඥ වේ ද, මෙයිනුදු මේ ප්රතිපදාව හීන ය යි කියනු ලැබේ. මහණෙනි, මේ ප්රතිපදාව මෙසේ දෙපසින් ම හීන ය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා දුක් වූ ක්ෂිප්රාභිඥ වූ යම් මේ ප්රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්රතිපදාව දුක් බැවින් හීනය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා සුව වූ දන්ධාභිඥ වූ යම් මේ ප්රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්රතිපදාව දන්ධ බැවින් හීනය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා සුව වූ ක්ෂිප්රාභිඥ වූ යම් මේ ප්රතිපදාවක් වේ ද, මේ ප්රතිපදාව දෙපසින් ම ප්රණීතය යි කියනු ලැබේ. යම් මේ ප්රතිපදාවක් සුව වේ ද, මෙයිනුදු මේ ප්රතිපදාව ප්රණීත ය යි කියනු ලැබේ. යම් මේ ප්රතිපදාවක් ක්ෂිප්රාභිඥ වේ ද මෙයිනුදු මේ ප්රතිපදාව ප්රණීත ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්රතිපදාව දෙපසින් ම ප්රණීත ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපදාවෝ යි.
4. 4. 2. 7.
[මොග්ගල්ලානපටිපදා සූත්රය]
17. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් හා සතුටු වූහ. සතුටට හේතු වූ ස්මරණීය කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් මුගලනෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් කවර ප්රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදිනි ද?
ඇවැත් ශාරීපුත්රයෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් නො සරස් ව ප්රතිවේධ ගන්නා යම් මේ දුක් වූ ප්රතිපදාවක් වේ ද, ක්ෂිප්රාභිඥ මේ ප්රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදින.