4. 4. 2. 4.
[සිවුවැනි ප්රතිපදා සූත්රය]
14. මහණෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අනධිවාසනා (නො ඉවසීම්) සඞ්ඛ්යාත අක්ඛමා පටිපදා ය, අධිවාසනා (ඉවසීම්) සඞ්ඛ්යාත ඛමා පටිපදා ය, (ඉන්ද්රියදමන සඞ්ඛ්යාත) දමා පටිපදා ය, (අකුශලවිතර්කයන්ගේ ව්යපසම සඞ්ඛ්යාත) සමා පටිපදා යි.
මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්රෝශ කරන්නහුට පෙරළා ආක්රෝශ කෙරෙයි. ඝටන්නහුට පෙරළා ඝටයි. පහර දෙන්නහුට පෙරළා පහර දෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා නමු.
මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්රෝශ කරන්නහුට වටාලා ආක්රෝශ නො කෙරෙයි. ඝටන්නහුට වටාලා නො ඝටයි. පහර දෙන්නහුට වටාලා නො ම පහර දෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා නමු.
මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිත්තග්රාහී නො වෙයි. අනුව්යඤ්ජනග්රාහී නො ද වෙයි. යම් හෙයෙකින් චක්ෂුරින්ද්රිය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්යා දෞර්මනස්ය සඞ්ඛ්යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්ෂුරින්ද්රිය රකියි. චක්ෂුරින්ද්රියෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැසැ ... සිතින් දහම් දැන නිමිත්තග්රාහී නො වේ. අනුව්යඤ්ජනග්රාහී නො ද වේ. යම් හෙයෙකින් මනින්ද්රිය ය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්යා දෞර්මනස්ය සඞ්ඛ්යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්ද්රියය රක්නේ මනින්ද්රියෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදා යී කියනු ලැබේ.
මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්ක සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, පිරිසිඳ ලයි, අභාවයට පමුණුව යි. උපන් ව්යාපාදවිතර්කය ... උපන් විහිංසාවිතර්කය ... උපනුපන් ලමු අකුසලදහම් සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, විගතාන්ත කෙරේ, අනභාවයට පමුණුවයි. ‘මහණෙනි, මේ සමා පටිපදා යී’ කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපදාවෝ යි.
4. 4. 2. 5.
[පස්වැනි ප්රතිපදා සූත්රය]
15. මහණෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අක්ඛමා පටිපදා ය, ඛමා පටිපදා ය, දමා පටිපදා ය, සමා පටිපදා යී.
මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීත උෂ්ණ බඩසය පවස මැසි මදුරු වා අව් දිග්දැහැ යන මුන්ගේ පහස් නොඉවසන්නේ වෙයි. නපුරු කොට බිණූ නපුරු කොට පැමිණි වචනයන් ද, දුක් වූ තීව්ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්රාණහර වූ ශරීරසන්නිහිත වේදනාවන් නොඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීතය උෂ්ණය ඉවසන්නේ වෙයි. ... ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිති නොගන්නාසුලු වෙයි ... කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පහස වැද ... සිතින් දහම් දැනැ නිමිති නොගන්නාසුලු වෙයි. අනුව්යඤ්ජන නොගන්නාසුලු වෙයි. යම් හෙයෙකින් මනින්ද්රියය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්යාත පාපක අකුශලධර්මයෝ ලුහුබැඳ ගණිත් ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්ද්රියය රක්නේ මනින්ද්රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදාය යි කියනු ලැබේ.
මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්ක නො ඉවසයි, දුරු කෙරේ, විනෝදනය කෙරේ, සංසිඳුවයි, පිරිසිඳලයි, අනභාවයට පමුණුවයි. උපන් ව්යාපාද විතර්ක ... උපන් විහිංසාවිතර්ක ... උපනුපන් ලමු අකුසල දහම් නො ඉවසයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සංහිඳුවයි, විගතාන්ත කෙරේයි, අභාවයට යවයි. මහණෙනි, මේ සමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රතිපදා වෝ යි.
4. 4. 2. 6.
[සවැනි ප්රතිපදා සූත්රය]
16. මහණෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක් වූ ප්රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්රතිපදා ඇති ශීඝ්ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්රතිපදා ඇති ශීඝ්ර වූ අභිඥා ඇති එකෙක.