4. 4. 1. 9.
[භික්ඛුනී සූත්රය]
9. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසඳ එක්තරා මෙහෙණක් එක්තරා පුරුෂයකු ඇමතූ ය. “එම්බා පුරුෂය, තෝ මෙහි එව, ආර්ය්ය ආනන්ද තෙරණුවන් කරා එළඹෙව, මාගේ වචනයෙන් අනඳහිමියන් පා හිසින් වඳුව, වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇතිව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ. ඕ අනඳ හිමියන්ගේ පාදයන් සිරසින් වඳී.” කියා යි. “වහන්ස, අනඳහිමිහු මෙහෙණවර කරා, එ මෙහෙණ කරා, අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනැවැ”යි ද මෙසේත් කියව.
‘ආර්ය්යාවෙනි, එසේය’ යි කියා එ පුරිස් එ මෙහෙණට පිළිවදන් අස්වා ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් එපුරිස් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කී:
“වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇති ව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ, ඕ ආයුෂ්මත් අනඳ තෙරුන්ගේ පාදයන් සිරසින් වඳී. මෙසේ ද කියයි: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙහෙණවර කරා ඒ මෙහෙණ කරා අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනව” කියා යි.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙහෙණවර කරා එළඹියහ. ඒ මෙහෙණ ආයුෂ්මත් අනඳ තෙරණුවන් එනුවන් දුරදී ම දුටු. දැක හිස වසා පෙරව ගෙණ ඇඳෙහි හොතු. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණ කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි හුන්හ. හිඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණට තෙල කීහ:
බුහුනණියනි, මේ කය ආහාරයෙන් වැඩින. අහර නිසා කර්මාහාරය ප්රහාතව්ය වෙයි. බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා පූර්වතෘෂ්ණාව ප්රහාතව්ය වෙයි. බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා පූර්වමානය ප්රහාතව්ය වෙයි. බුහුනණියනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතු නැස්ම වදාරණ ලදී.
“බුහුනණියෙනි, මේ කය ආහාරයෙන් වැඩින. ආහාරය නිසා ආහාරය පහ කළ යුතුය” යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියූ ද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණ නුවණින් සලකා අහර වළඳ කෙරෙයි. දවය පිණිස නො වේ. මදය පිණිස නො වේ. මණ්ඩනය පිණිස නො වේ. විභූෂණය පිණිස නො වේ. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි. යැපීම පිණිස ම වෙයි. විහිංසා නස්නා පිණිස ම වෙයි. බඹසරට අනුගුරක් පිණිස ම වෙයි. මෙසේ පුරාණවේදනාත් නස්මි. නව්යවෙදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්රාව ද වෙයි. අවද්යතා ද ඵාසුවිහරණය ද වෙයි. හේ පසු කලෙක අහර නිසා අහර හැර පියයි. “බුහුනණියෙනි, මේ කය අහරින් වැඩින, අහර නිසා අහර හැරපිය යුතුය”යි යම් බසෙක් කියන ලද නම් මෙය තෙල අරුත් සඳහා කියන ලදි.
“බුහුනණියෙනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව හැරපිය යුතුය යි” මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද ද: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය දුටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසේ ලැ”යි අසාද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කවරදා නම් මමත් ආස්රවක්ෂය කිරීමෙන් ... ප්රත්යක්ෂ කොට ඊට එළඹ වෙසෙම් දෝ හෝ”යි කියා යි. හේ පසුකලෙක තෘෂ්ණාව නිසා තෘෂ්ණාව හැරපියයි. “බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව පහ කළයුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් සඳහා කියන ලදි.
“බුහුනණියෙනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළයුතුය”යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් මෙනම් මහණ ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චෛතසිකවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වෙසේ ලැ”යි අසා ද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඒ ආයුෂ්මත් වනාහි ආස්රවක්ෂයයෙන් අනාස්රව වූ චේතෝවිමුක්තිය හා ප්රඥාවිමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මම වැළිත් කියනු කිමැ”යි කියා යි. හේ පසුකලෙක මානය නිසා මානය හැර පියයි. “බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළ යුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් පිණිස කියන ලදී.”
“බුහුනණියෙනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතුඝාතය වදාරණ ලදී.
එසඳ ඒ මෙහෙණ හැඳෙන් නැගී උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ පාමුල හිසින් වැටී ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල බස් කිවුය: “වහන්ස, යම් බඳු මම මෙසේ කෙළෙම් වේ ද, බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද මා ඉක්ම ගියේ ය. වහන්ස, ආනන්ද හිමිහු ඒ මාගේ වරද වරද විසින් ආයතිසංවරය සඳහා පිළිගන්නා සේක්වා.
බුහුනණියෙනි, යම් තෝ මෙසේ කෙළෙහි නම් එබැවින් බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද තී ඉක්ම ගියේ ය. බුහුනණියෙනි, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්රතික්රියා කෙරෙහි ද, තීගේ ඒ වරද අපි පිළිගණුම්හ. බුහුනණියෙනි, යමක් වරද වරද විසින් දැක දහම් පරිදි ප්රතික්රියා කෙරේ ද, මතු සංවරයට එළඹේ ද, තෙල ප්රතික්රියාව ආර්ය්යවිනයෙහි අභිවෘද්ධියෙක් මැයි.