4. 4. 1. 10.
[සුගතවිනය සූත්‍රය]
10. මහණෙනි, සුගතයන් වහන්සේ වෙත්ව යි සුගතවිනය වේව යි ලෝකයෙහි පවත්නේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුඛ පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුඛ පිණිස වෙයි. මහණෙනි, සුගතයන් වහන්සේ නම් කවරහුය යත්:
මහණෙනි, මෙ ලොව අර්‍හත්, සම්‍යක් සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථී, දෙවි මිනිස්නට අනුශාසක, චතුස්සත්‍යාවබෝධ කළ, භාග්‍යවත්, තථාගතයන් වහන්සේ පහළ වන සේක. මහණෙනි, මේ සුගතයෝ නම් වෙති.
මහණෙනි, සුගතවිනය නම් කවරේ ය යත්: උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට දහම් දෙසනසේක. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය දෙසන සේක. මහණෙනි, මේ සුගතවිනය නම් වේ.
මහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ වෙත්ව යි සුගත විනය වේව යි ලොව්හි සිටුනේ වේ නම් ඒ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස සුව පිණිස වෙයි.
මහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් ශාසනයාගේ ප්‍රමෝෂය (විනාශය) අන්තර්‍ධානය පිණිස වැටෙත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහු වරදවා ගත් සූත්‍රාන්ත වරදවා ලූ පදව්‍යඤ්ජනයෙන් පිරිවහත්. මහණෙනි, වරදවා ලූ පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු දුර්‍වවස්ක (ඔවා නොගන්නෝ) වෙති. දෞර්‍වවස්‍යකරණ ධර්‍මයෙන් සමන්‍වාගත වෙත්. අක්‍ෂම (ක්‍ෂමා නැත්තෝ) වෙත්. අනුසස්න ප්‍රදක්‍ෂිණා (ගෞරව) පූර්‍වක ව නොගන්නාහු වෙත්. මහණෙනි, මේ දෙවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තව ද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත් ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට සූත්‍රාන්ත පරා ලවා වාවනාමාර්‍ගයෙන් නො හදාරවත්. උන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්ත මුලුසුන් වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මේ තෙවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු බහුල පස පිණිස පිළිපන්හු වෙත්. ශික්‍ෂාශාසනය ලිහිල් කොට ගණිත්. පඤ්චනීවරණ පූරණයෙහි පෙරදැරි වෙත්. ප්‍රවිවේකයෙහි (භාවනායෙහි) හළ වැර ඇති වෙත්. නොපැමිණි ඵලයාගේ පැමිණීම පිණිස නොලත් ඵලයාගේ ලැබීම පිණිස පසක් නොකළ ඵලයාගේ පසක් කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙත්. පශ්චිම ජනතාව ඔවුන්ගේ දෘෂ්ටානුගතියට (ඔවුන් අනුව යාමට) පැමිණේ. ඒ ජනතාව ද බාහුලික සාථලික වේ. නීවරණ දහම්හි පෙරගැමි වෙයි. ප්‍රවිවේකයෙහි හළ වැර ඇති වෙයි. නොලත් පල ලබනු සඳහා නොවිඳි පල විඳිනු සඳහා පසක් නොකළ පල පසක් කරණු සඳහා වැර ඇරඹිලි නො කෙරෙයි. මහණෙනි, මේ සතරවන දහම සසුන් නස්නා සඳහා අතුරුදහන් සඳහා වැටෙයි.
මහණෙනි, මෙ සතර ධර්‍මයෝ ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙත්.
මහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණහු මොනොවට උගන්නා ලද සූත්‍රාන්ත මොනොවට උගත් පදව්‍යඤ්ජනයෙන් පිරිවහත්. මහණෙනි, මොනොවට තබන ලද පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථය ද සුගම වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය (පැවැත්ම) පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු සුවච වෙති. සුවච බව කරණ දහමින් සමන්‍වාගත වෙත්. ක්‍ෂම වෙත්. අනුසස්න ප්‍රදක්‍ෂිණාපූර්‍වකව ගන්නාහු වෙත්. මහණෙනි, මේ දෙවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත්ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට පරා ලවා වාවනාමාර්‍ගයෙන් සූත්‍රාන්ත හදාරවත්. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්ත මුලුසුන් නො වෙයි. පිළිසරණ ඇත්තේ වෙයි. මහණෙනි, මේ තෙවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස, අසම්මෝසය පිණිස, අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යයබාහුල්‍යය නැත්තෝ වෙත්. ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගණිත්. පඤ්චනීවරණයන්හි බැහැර ලූ ධුර ඇත්තෝ වෙත්. ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙති. අප්‍රාප්තඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතඵලයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතඵලයාගේ සාක්‍ෂාත්කාරය පිණිස වීර්‍ය්‍යාරම්භ කෙරෙත්. පශ්චිම ජනතාව ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාව ද බාහුලික නො වේ. සාථලික නො වේ. නීවරණ දහම්හි බැහැර කළ ධුර ඇති වෙයි. ප්‍රවිවේකයෙහි පෙරගැමි වෙයි. නොලත් ඵල ලබනු සඳහා නොවිඳි ඵල විඳිනු සඳහා පසක් නොකළ ඵල පසක් කරණු සඳහා වැර ඇරඹිලි කෙරෙයි. මහණෙනි, මේ සතර වන දහම සසුන් පැවැත්ම සඳහා නො නස්නා සඳහා අතුරුදන් නොවීම සඳහා වැටෙයි.
මහණෙනි, මේ සතර ධර්‍මයෝ ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙත්.
ඉන්‍ද්‍රියවර්‍ගය පළමුවැනි යි.