4. 4. 1. 8.
[පරිහාණි සූත්‍රය]
8. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ:
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි ලා නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් “තෙල පිරිහිනෙකැ”යි වදාරණ ලදී. කවර සතර දහම්හුය යත්:
රාගවෛපුල්‍ය ය, ද්වේෂවෛපුල්‍ය ය, මොහවෛපුල්‍ය ය, ඔහුගේ පැණැස ගැඹුරු ස්ථාන අස්ථානයෙහි (කාරණාකාරණයෙහි) නො වැදගණී නම් එද යන සතර යි.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල පිරිහිනෙකැ’යි වදාරණ ලදී.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසලදහමින් නො පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නොපිරිහිනෙකැ’යි වදාරණ ලදී. කවර සතර දෙනෙක යත්:
රාගයාගේ තුනීබව ය, ද්වේෂයාගේ තුනීබව ය, මෝහයාගේ තුනීබව ය, ඔහුගේ පැණැස ගැඹුරු කාරණාකාරණයෙහි වැදගණී ද එයයි.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, ‘කුසලදහමින් නො පිරිහෙමි’යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නො පිරිහිනෙකැ’යි වදාරණ ලදී.
4. 4. 1. 9.
[භික්ඛුනී සූත්‍රය]
9. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසඳ එක්තරා මෙහෙණක් එක්තරා පුරුෂයකු ඇමතූ ය. “එම්බා පුරුෂය, තෝ මෙහි එව, ආර්‍ය්‍ය ආනන්‍ද තෙරණුවන් කරා එළඹෙව, මාගේ වචනයෙන් අනඳහිමියන් පා හිසින් වඳුව, වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇතිව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ. ඕ අනඳ හිමියන්ගේ පාදයන් සිරසින් වඳී.” කියා යි. “වහන්ස, අනඳහිමිහු මෙහෙණවර කරා, එ මෙහෙණ කරා, අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනැවැ”යි ද මෙසේත් කියව.
‘ආර්‍ය්‍යාවෙනි, එසේය’ යි කියා එ පුරිස් එ මෙහෙණට පිළිවදන් අස්වා ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් එපුරිස් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කී:
“වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇති ව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ, ඕ ආයුෂ්මත් අනඳ තෙරුන්ගේ පාදයන් සිරසින් වඳී. මෙසේ ද කියයි: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙහෙණවර කරා ඒ මෙහෙණ කරා අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනව” කියා යි.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙහෙණවර කරා එළඹියහ. ඒ මෙහෙණ ආයුෂ්මත් අනඳ තෙරණුවන් එනුවන් දුරදී ම දුටු. දැක හිස වසා පෙරව ගෙණ ඇඳෙහි හොතු. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණ කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි හුන්හ. හිඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණට තෙල කීහ:
බුහුනණියනි, මේ කය ආහාරයෙන් වැඩින. අහර නිසා කර්‍මාහාරය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා පූර්‍වතෘෂ්ණාව ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා පූර්‍වමානය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතු නැස්ම වදාරණ ලදී.