4. 4. 1. 7.
[රෝග සූත්‍රය]
7. මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්:
කායිකරෝගය හා චේතසිකරෝග යි.
මහණෙනි, කායිකරෝගයෙන් එක් හවුරුද්දකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දෙකකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තුණකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතරකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දසයකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු විස්සකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතළිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පණසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සියයකුදු ආරෝග්‍යය පිළිණ කරණ සත්හු පැණෙති.
මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් චෛතසික රෝගයෙන් ආරෝග්‍යය පිළිණ කෙරෙත් ද, ඒ සත්හු ලෝකයෙහි දුර්‍ලභ වෙති. රහතුන් හැර යි.
මහණෙනි, පැවිද්දහුට මේ රෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ මහේච්ඡ වෙයි. එයින් දුක් ඇතියේ වෙයි. යම් ම කිසි පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් සතුටු නො වෙයි. හේ මහේච්ඡ වූයේ එයින් දුක් ඇතියේ යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් අසතුටු වූයේ අවඥා නොලබනු සඳහා ලාභසත්කාරකීර්ති ලබනු සඳහා ලමු කැමැත්තක් පිහිටුවයි. හේ අවඥා නොලබනු පිණිස ලාභසත්කාර කීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කෙරෙයි. ඝටනා කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. (මෙසෙසින් මහදනා මා හඳුනා ගනිතියි) හේ අපේක්‍ෂා කොට කුලන්කරා එළඹෙයි. අපේක්‍ෂා කොට හිඳියි. අපේක්‍ෂා කොට දහම් දෙසයි. අපේක්‍ෂා කොට මලමූත්‍රවේගධාරණය කෙරෙයි. මහණෙනි, පැවිද්දහුගේ මේ සතර රෝගයෝ යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු ය: “මහේච්ඡ නො වම්හ. එයින් දුක් ඇතියමෝ නො වම්හ. යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් නොසතුටු වූවමෝ නො වම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස, ලමු ඉච්ඡාවක් නො තබම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය නො කරම්හ. ඝටනා නො කරම්හ. ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසි මුදුරු වා අව් දිග්දැහැ යන මොවුන්ගේ පහස් ඉවසන්නමෝ නො වම්හ. නපුරු කොට කී නපුරු කොට ආ වචන ඉවසන්නමෝ නො වම්හ. දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරිකවේදනා ඉවසන සැහැවි ඇත්තමෝ නො වම්හ” කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය.
4. 4. 1. 8.
[පරිහාණි සූත්‍රය]
8. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ:
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි ලා නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් “තෙල පිරිහිනෙකැ”යි වදාරණ ලදී. කවර සතර දහම්හුය යත්:
රාගවෛපුල්‍ය ය, ද්වේෂවෛපුල්‍ය ය, මොහවෛපුල්‍ය ය, ඔහුගේ පැණැස ගැඹුරු ස්ථාන අස්ථානයෙහි (කාරණාකාරණයෙහි) නො වැදගණී නම් එද යන සතර යි.