4. 3. 2. 5.
[ඨාන සූත්රය]
15. මහණෙනි, මේ කාරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අර්ත්ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අර්ත්ථයට වැටේ.
මහණෙනි, එහි කරන්නට අමනාප වූ යම් මේ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේ ද, මහණෙනි, මේ කරුණ දෙපරිදි ම නො කටයුතු කොට හඟනේය. මේ කරුණෙක් කරන්නට අමනාප වේ ද, මෙයිනුත් එය නො කටයුතු කොට හඟනේ ය. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේ ද, මෙයිනුත් නො කටයුතු කොට හඟනේය. මහණෙනි, මෙ කරුණ දෙරිදි ම නො කටයුතු කොට හඟනේය.
මහණෙනි, එහි කරන්නට අමනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්ත්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්ය්යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතු යි. මහණෙනි, බාල තෙමේ මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට අමනාපය. වැලිත් මෙ කරුණ කරණු ලබන්නේ අර්ත්ථයට වැටේ’ ය යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට නො කරණු ලබන එකරුණ අනර්ත්ථයට වැටෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙකරුණ කරන්නට අමනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අර්ත්ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අර්ත්ථයට වැටෙයි.
මහණෙනි, එහි කරන්නට මනාප වූ යම් කරුණෙක් වේ ද, එ ද කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි දී පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්ය්යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතුය. මහණෙනි, බාල මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේය’යි. හෙතෙම එකරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේ. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්ත්ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට එකරුණ නො කරණු ලබන්නේ අර්ත්ථයට වැටෙයි.
මහණෙනි, එහි කරන්නට මනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්ත්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කටයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරන්නට කැමති වේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අර්ත්ථයට වැටේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කළයුතු කොට හඟී.
මහණෙනි, මේ සතර කරුණුයි.
4. 3. 2. 6.
[අප්පමාද සූත්රය]
16. මහණෙනි, සතර කරුණෙකින් අප්රමාදය කළ යුතුය. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනෝදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව.
මහණෙනි, යම් කලක මහණහට කායදුශ්චරිතය ප්රහීණ වේ ද, කායසුචරිතය භාවිත වේ ද, වාග්දුශ්චරිතය ප්රහීණ වේ ද, වාක්සුචරිතය භාවිත වේ ද, මනෝදුශ්චරිතය ප්රහීණ වේ ද, මනස්සුචරිතය භාවිත වේ ද, මිසදිටු ප්රහීණ වේ ද, සම්දිටු භාවිත වේ ද, හෙතෙම සම්පරායික මරණයට බියපත් නො වෙයි.