4. 3. 2. 6.
[අප්පමාද සූත්‍රය]
16. මහණෙනි, සතර කරුණෙකින් අප්‍රමාදය කළ යුතුය. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනෝදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව.
මහණෙනි, යම් කලක මහණහට කායදුශ්චරිතය ප්‍රහීණ වේ ද, කායසුචරිතය භාවිත වේ ද, වාග්දුශ්චරිතය ප්‍රහීණ වේ ද, වාක්සුචරිතය භාවිත වේ ද, මනෝදුශ්චරිතය ප්‍රහීණ වේ ද, මනස්සුචරිතය භාවිත වේ ද, මිසදිටු ප්‍රහීණ වේ ද, සම්දිටු භාවිත වේ ද, හෙතෙම සම්පරායික මරණයට බියපත් නො වෙයි.
4. 3. 2. 7.
[ආරක්ඛ සූත්‍රය]
17. මහණෙනි, සතර තැනෙක තමාට නිසි සැටියෙන් (හිත-කැමැත්තෙන්) අප්‍රමාදය-ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. කවර සතර තැනෙක යත්:
සිත් ඇලීමට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් ඇලේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.
ද්වේෂයට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් දූෂිත වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.
මෝහනයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මුළා වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.
මදයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මත් වේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය - ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.
මහණෙනි, යම් දිනෙක පටන් ගෙණ මහණහුගේ සිත වීතරාග බැවින් රජනයට කරුණු වූ දහම් හි නො ඇලේ ද, වීතදෝෂ බැවින් ද්වේෂයට කරුණු වූ දහම් හි සිත දූෂිත නොවේද, මෝහයට කරුණු වූ දහම් හි පැහු මෝහ ඇති බැවින් සිත නහමක් මුළා වේ ද, මදයට කරුණු වූ දහම් හි පැහු මද ඇති බැවින් සිත නහමක් මත් වේ ද, හෙතෙම තැති නො ගණී. නො සැලේ. නො වෙවුලයි. සන්ත්‍රාසයට නො යෙයි. පරවාදි ශ්‍රමණයන්ගේ වචන හේතුවෙන් ද මිසදිටුවට නොයේ මැ යි.
4. 3. 2. 8.
[සංවේජනීය සූත්‍රය]
18. මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවේග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්:
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
මහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි.