2. කේසි වර්‍ගය
4. 3. 2. 1.
[කේසි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. එසඳ කේසි නම් අස්දම්සැරි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් කේසි නම් අස්දම්සැරිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කේසිය, තෝ ප්‍රසිද්ධ අස්දම්සැරියෙහි. කේසිය, තෝ කෙසේ නම් නහඹු අසු විනය(දම)නය කෙරෙහි?
වහන්ස, මම නහඹු අසු ශ්ලක්‍ෂණයෙනුදු (මුදුබැවිනුදු) විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණ - පරුෂයෙනුදු විනයනය කෙරෙමි.
කේසිය, ඉදින් තාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, ඔහුට කුම් කෙරෙහි?
වහන්ස, ඉදින් මාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, වහන්ස, මම උහු මරමි. ඒ කවර හෙයින යත්: මාගේ ඇදුරුකුලයට නහමක් අකීර්‍තති වේවයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පුරුෂදම්‍යයා කෙසේ විනයනය කරණ සේක් ද?
කේසිය, මම පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයනය කෙරෙමි. කේසිය, එහි මේ ශ්ලක්‍ෂණභාවය වෙයි: කායසුචරිතය මෙබඳු වෙයි, කායසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචීසුචරිතය මෙබඳු වෙයි, වචීසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනඃසුචරිතය මෙබඳු වෙයි, මනඃසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබන්දහ, මනුෂ්‍යයෝ මෙබන්දහයි මෙසේ දැක්වීමයි.
කේසිය, එහි මේ පරුෂභාවය වෙයි: කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. වාග්දුශ්චරිතය මෙසේ ය, වාග්දුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. නිරය මෙසේ ය, තිරශ්චීනයෝනි මෙසේ ය, ප්‍රේතවිෂය මෙසේ ය යනු යි.
කේසිය, එහි මේ ශ්ලක්‍ෂණපරුෂභාවය වේ: කායසුචරිතය මෙසේ ය, කායසුචරිතයාගේ විපාක මෙසේ ය, කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය, වචීසුචරිතය මෙසේ ය, වචීසුචරිතයාගේ විපාක මෙසේ ය. වචීදුශ්චරිතය මෙසේ ය, වචීදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනඃසුචරිතය මෙසේ ය, මනඃසුචරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. දෙවියෝ මෙබන්දහ. මනුෂ්‍යයෝ මෙබන්දහ. නිරය මෙබඳුය. තිරශ්චීනයෝනි මෙබඳුය. ප්‍රේතවිෂය මෙබඳුය යනුයි.
වහන්ස, ඉදින් භගවත්හුගේ පුරුෂදම්‍ය භගවත්හුගේ පුරුෂදම්‍ය ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුම් කෙරෙති හෝ යි?
කේසිය, ඉදින් මාගේ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂෙයනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, කේසිය, ඔහු නස්මි.
වහන්ස, භගවත්හට පණිවා නො කැපම ය. එතෙකුදු වුව, භාග්‍යවතුන් වහන්සේ ‘කේසිය, ඔහු නස්මි’යි මෙසේ වදාරණදෑ ය.
සැබැව කේසිය, තථාගතයනට පණිවා නොසරුප් වෙයි. වැළිදු, ඒ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, තථාගතයෝ ඔහු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත්. නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත්. කේසිය, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, ආර්‍ය්‍යවිනයයෙහි තෙල වධයෙක් මැ ය.
වහන්ස, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතන සේක් ද, නුවණැති සබ්‍රම්සරහුදු, කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත් ද, හේ එකැතින් මහත් වධයෙක.
වහන්ස, ඉතා මැනව, ඉතා මැනව ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසකු කොට ධරණ සේක්වා.
4. 3. 2. 2.
[අස්සාජානීය - ජව සූත්‍රය]
12. මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය සතර අඟෙකින් සමන්‍වාගත වූයේ රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, පද ජවයෙන, අධිවාසනායෙන, සුරතභාවයෙනැ යි.
මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය මේ සතර අඟින් සමන්‍වාගත වූයේ රජුට නිසි වූයේ වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
මහණෙනි, එපරිදි ම සතර අඟෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, ඤාණජවයෙන, ඉවසීමෙන, සුරතභාවයෙනැ යි.
මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍ය ක්‍ෂේත්‍රවෙයි.