4. 3. 2. 4.
[නාග සූත්‍රය]
14. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වේ. රජහු විසින් වළඳ කළයුතු වේ. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි. කවර සතර කරුණෙන යත්:
මහණෙනි, මෙලොව අජුගේ ඇත් අසනුයේ ද වෙයි, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් අසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් කළවිරූ වේවයි, නො කළවිරූ වේවයි, යම් කම්කටුලු හස්තිදම්‍යසාරථි තුලූන් ලවා කරවා ද, එය අර්ත්‍ථී ව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙන රුකළ කන් ඇති ව අසා ද, මහණෙනි, මෙසේ රජුගේ ඇත් අසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් නසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ ඇතුදු නසයි. ඇතරුවා ද නසයි. අසුදු නසයි. අසරුවා ද නසයි. රිය ද නසයි. රිය නැගි යෝධ ද නසයි. පාබළ ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් නසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ සිරිය පහර, හී පහර, කඩු පහර, පොරෝ පහර, බෙර පණාබෙර සක් දෙණ්ඩිම යන නින්නාද ශබ්ද ඉවසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ඉවසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් යනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් ගිය විරූ දිග වේවයි නො ගිය විරූ දිග වේවයි, යම් දිගකට ඇත්දම්සැරි මෙහෙයා ද, එදිගට වහාම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් යනුයේ නම් වේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ රජුගේ ඇත් රජුට නිසි වූයේ රජු විසින් වළඳ කටයුතු වූයේ වෙයි. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි.
මහණෙනි, එපරිදි ම සතර කරුණෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
කවර සතර කරුණෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අසනුයේ ද, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
මහණෙනි, කෙසේ මහණ අසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තථාගතයන් විසින් වදාරණ ලද ධර්‍ම විනය දෙසනු ලබන කල්හි අර්ත්‍ථීව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙණ රුකළ කන් ඇතිව ඒ දහම් අසයි. මහණෙනි, මෙසේ මහණ අසනුයේ නම් වෙයි.
මහණෙනි, කෙසේ මහණ නසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසල දහම් සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි මෙසේ මහණ නසනුයේ නම් වේ.
මහණෙනි, කෙසේ මහණ ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසිමදුරු, වා - අව්, දිග් දෑ යන මොවුන්ගේ පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කී නපුරු කොට පැමිණි වචනපථයන් ද දුක් ඇති තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරික වේදනා ඉවසන ප්‍රකෘති ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ඉවසනුයේ නම් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ යනුයේ නම් වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සියලු උපධීන්ගෙන් වෙන් වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරෝධ වූ සර්‍වසංස්කාරශමථය යි කියන ලද යම් මේ නිවන් නමැති, මේ දීර්‍ඝ කාලයෙහි නො ගිය විරූ දිගෙක් ඇද්ද, එදිග වහා ම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ යනුයේ නම් වේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වේ ... ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය වෙයි.
4. 3. 2. 5.
[ඨාන සූත්‍රය]
15. මහණෙනි, මේ කාරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ.
මහණෙනි, එහි කරන්නට අමනාප වූ යම් මේ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මේ කරුණ දෙපරිදි ම නො කටයුතු කොට හඟනේය. මේ කරුණෙක් කරන්නට අමනාප වේ ද, මෙයිනුත් එය නො කටයුතු කොට හඟනේ ය. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අනර්‍ත්‍ථයට වැටේ ද, මෙයිනුත් නො කටයුතු කොට හඟනේය. මහණෙනි, මෙ කරුණ දෙරිදි ම නො කටයුතු කොට හඟනේය.
මහණෙනි, එහි කරන්නට අමනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතු යි. මහණෙනි, බාල තෙමේ මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට අමනාපය. වැලිත් මෙ කරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේ’ ය යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට නො කරණු ලබන එකරුණ අනර්‍ත්‍ථයට වැටෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙකරුණ කරන්නට අමනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අර්‍ත්‍ථයට වැටෙයි.