4. 3. 2. 2.
[අස්සාජානීය - ජව සූත්‍රය]
12. මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය සතර අඟෙකින් සමන්‍වාගත වූයේ රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, පද ජවයෙන, අධිවාසනායෙන, සුරතභාවයෙනැ යි.
මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය මේ සතර අඟින් සමන්‍වාගත වූයේ රජුට නිසි වූයේ වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.
මහණෙනි, එපරිදි ම සතර අඟෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, ඤාණජවයෙන, ඉවසීමෙන, සුරතභාවයෙනැ යි.
මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍ය ක්‍ෂේත්‍රවෙයි.
4. 3. 2. 3.
[අස්සාජානීය - පතෝද සූත්‍රය]
13. මහණෙනි, මේ භද්‍ර අශ්වාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග (ජව) උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කවර දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නොම උපදවයි, වේගයට නො පැමිණේ ම ය. වැළිත් ලෝමකූපයෙහි හීකැහිටින් විදුනා ලද්දේ වෙග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව ඇත. මහණෙනි, මේ දෙවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝමකූපයෙහි විත් පහරින් විදුනා ලද්දේත් සංවේග නූපදවයි, වේගයට නො ද පැමිණෙයි. වැළිත් සමෙහි විත්පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් කාරණාවක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවේග නො ම උපදවයි, වේගයට නො ද පැමිණෙයි. ලෝම කූපයෙහි විත් පහරින් විදුනා ලද්දේ සංවේග නො ම උපදවයි. වේගයට නො පැමිණෙයි. චර්‍මයෙහි විත් පහරින් විදුනනා ලද්දේ සංවේග නො උපදවයි, වේගයට නො පැමිණෙයි. වැළිත් ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි, “දැන් අස්දම්සැරි මට කිනම් කරුණක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව විද්‍යමාන වෙයි. මහණෙනි, මේ සතරවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමානය.
මහණෙනි, මේ භද්‍රඅශ්වාජානීයයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
මහණෙනි, එපරිදි ම භද්‍ර වූ මේ පුරුෂාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්: