4. 2. 5. 6.
[රාගවිනය සූත්‍රය]
46. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාහට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නොපිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස නො පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිසත්, මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වේ ද,
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් රාගවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් ද්වේෂවිනය පිණිස සමාදන් කරවයි. තෙමේත් මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමාත් මෝහවිනය පිණිස සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 7.
[ඛිප්පනිසන්ති සූත්‍රය]
47. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.