2. දෙවන පණ්ණාසකය
1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
4. 2. 1. 1.
[ප්‍රථම පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, සුව එළවන, මොනොවට අග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛ විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලෝප්පත්තීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳනා මහණෙක් අර්‍හත්‍වඵලසමාධියට සමවැද වෙසේ ද, ඔහුට සුව එළවන මනා අග්‍ර රූපාදිසම්පත් දෙන සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳන මහණෙක් අර්‍හත්ත්‍වඵල සමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන අග්‍ර වූ රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ සෙනසුන් වළඳ කරණ මහණෙක් අර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේද, ඔහුට සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, යම් දායකයකුගේ ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරණ මහණෙක් අර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහුට සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස, සුඛය පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
මහණෙනි, සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා මේ සතර පුණ්‍යප්‍රවාහයෝ - කුශලප්‍රවාහයෝ යි.
මහණෙනි, මේ සතර පුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පුණ්‍යප්‍රමාණය ගන්නට සුකර නො වේ. සුව එළවන ස්වග්‍ර රූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණයට යෙයි.
මහණෙනි, දියලහ මෙතෙකැයි හෝ දියලහසිය මෙතෙකැයි හෝ දියලහදහස් මෙතෙකැ යි හෝ දියලහසුවහස් මෙතෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහත් උදකස්කන්‍ධයෙක් ම යයි ගණයට යේ ද, මහණෙනි, එපරිදි ම මේ සතර පුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පුණ්‍යප්‍රමාණය ගන්නට නො හැකි වේ. සුඛ එළවන ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙතෙක කියා යි. වැලිත් අසඞ්ඛෙය්‍ය වූ අප්‍රමේය වූ මහා පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණනට යෙයි.
1. පරිමිත රහිත වූ බිහිසුණු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදතලාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම් සේ වැදගණිත් ද,
2. අන්නපාන වස්ත්‍ර දායක වූ ශය්‍යානිෂද්‍යාස්තරණ දායක වූ පණ්ඩිත මිනිසා කරා එපරිදි ම පුණ්‍යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.
4. 2. 1. 2.
[දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
2. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩනා පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ සතර පුණ්‍යප්‍රවාහ කෙනෙකි. කුශලප්‍රවාහ කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඒ භගවත්හු මේ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ. සිවුසස් දත්හ. රාගාදීන් භග්න හෙයින් භගවත්හ යි කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ පළමු වන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ධර්‍මයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, එව බලව යන විධියට අර්‍හය, උපනයනාර්‍හය, නුවණැතියන් විසින් තමා කෙරෙහි ලා දතයුතුය කියා යි. මහණෙනි, සුව එළවන, ස්වග්‍ර රූපාදි සම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ට බව පිණිස කාන්ත බව පිණිස මනවඩන පිණිස, හිතය පිණිස සුඛය පිණිස පවත්නා, මේ දෙවන පුණ්‍යප්‍රවාහය. කුශලප්‍රවාහ යි.