4. 2. 5. 7.
[ඛිප්පනිසන්ති සූත්රය]
47. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා දන්නට සමත් වූයේ වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ ද වෙයි. දැරූ දහම් අරුත් විසින් පිරික්සනුයේ ද වෙයි. අටුවා දැන පෙළ දහම් දැන ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වෙයි. එසේ හොතුදු කලණවදන් නැත්තේ වෙයි. කල්යාණවචනඝෝෂ නැත්තේ වෙයි. අපළිබුද්ධ, නිදොස්, අර්ත්ථ දන්වන්නට සමත්, පිරිපුන් වචනයෙන් සමන්වාගත නො වෙයි. සබ්රම්සරුනට කරුණු විසින් නො දක්වන්නේ වෙයි. සමාදන් නො කරවන්නේ වෙයි. තෙද ගන්වන්නේ නො වෙයි. පහදවන්නේ නො වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් වූයේ නො වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ ද නො වෙයි. ධැරූ දහම් අර්ත්ථ විසින් පරීක්ෂා කොට ගන්නේ නො වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේ නො ද වෙයි. කල්යාණවචන ඇත්තේ වෙයි. කල්යාණවචන ඝෝෂ ඇත්තේ වෙයි. අපළිබුද්ධ, නිදොස්, අරුත් විඳුවන්නට සමත්, පිරිපුන් වචනයෙන් සමන්වාගත වෙයි. සබ්රම්සරුනට හේතු දක්වා බණන්නේත්, ගුණයෙහි සමාදන් කරවන්නේත්, නිසාමනය කරවන්නේත්, පහදවන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේත් මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් නො වෙයි. ඇසූ දහම් ධරණ ස්වභාව ඇත්තේත් නො වෙයි. දැරූ දහම් අර්ත්ථ විසින් පරීක්ෂා කොට ගන්නේත් නො වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේ නො ද වෙයි. කලණවදන් ඇත්තේත් නො වෙයි. කල්යාණවචනඝෝෂ ඇත්තේත් නො වෙයි. අපළිබුද්ධ නිදොස් අර්ත්ථය විඳුවනට සමත් පරිපූර්ණවචනයෙන් සමන්වාගත නො වෙයි. සබ්රම්සරුනට කරුණු දක්වා බණන්නේත්, ගුණයෙහි සමාදන් කරවන්නේත්, තෙද ගන්වන්නේත්, පහදවන්නේත්, නො වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස නො පිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ද වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේත් මෙරමාහට හිත පිණිස පිළිපන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කුසල්දහම්හි ලා වහා කන් රුකොට දන්නට සමත් වූයේ වෙයි. ඇසූ දහම් දරණ ස්වභාව ඇත්තේ වෙයි. දැරූ දහම් අර්ත්ථ විසින් පරීක්ෂාකොට ගන්නේ වෙයි. අටුවා දැන පෙළදහම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේ වෙයි. කලණබස් ඇතියේත්, කල්යාණවචනඝෝෂා ඇතියේත් වෙයි. අපළිබුද්ධ නිදොස් අර්ත්ථය. විඳුවනට සමත් පරිපූර්ණවචනයෙන් සමන්වාගත වෙයි. සබ්රම්සරුනට හේතු දක්වා බණන්නේත්, සමාදන් කරවන්නේත්, තෙද ගන්වා බණන්නේත්, පහදවන්නේත් වේ. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ.