4. 2. 5. 5.
[ඡවාලාත සූත්රය]
45. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාහට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේ වයි, නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේ ය.
මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළ ගත්, මැද අශුචි වැකුණු සොහොන් පෙණහෙල්ල ගමෙහි කාෂ්ටයෙන් කරණ කිස සිදු නො කෙරේ ද, අරණ්යයෙහි කාෂ්ටාර්ත්ථය සිදු නො කෙරේ ද, යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස වේ වයි, මෙරමාහට හිත පිණිස වේව යි නො පිළිපන්නේ වේ නම්, මහණෙනි, මේ පුද්ගලයා එබඳු කොට මම කියමි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් මෙ තෙම සුන්දරතර ද වෙයි. ප්රණීතතර ද වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද, මේ තුන් පුද්ගලයන් අතුරෙන් මෙ තෙම සුන්දරතර ද වෙයි. ප්රණීතතර ද වෙයි.
මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්ර ද ශ්රේෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්රවරද වෙයි.
මහණෙනි, යම් පරිදි දෙනගෙන් කිරි ද, කිරියෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුයෙන් ගී ද, ගීයෙන් ගීමඬ වේ ද, එහි ගීමඬ අග්රය යි කියනු ලැබේ ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් පුද්ගලයෙක් තමාට හිත පිණිසත් මෙරමාහට හිතපිණිසත් පිළිපන්නේ වේ නම්, හෙතෙම මේ සතර පුද්ගලයන් අතුරෙන් අග්ර ද ශ්රේෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්රවර ද වේ.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්යමාන වෙත්.
4. 2. 5. 6.
[රාගවිනය සූත්රය]
46. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
තමාහට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ ය. මෙරමාහට හිත පිණිස පිළිපන්නේ තමාට හිත පිණිස නො පිළිපන්නේ ය. තමාට හිත පිණිස නොපිළිපන්නේ ම මෙරමාහට හිත පිණිස ද නො පිළිපන්නේ ය. තමාහට හිත පිණිසත් මෙරමාහට හිත පිණිසත් පිළිපන්නේය.
මහණෙනි, කෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක්, තෙමේ රාගවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා රාගවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ ද්වේෂවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා ද්වේෂවිනය පිණිස සමාදන් නො කරවයි. තෙමේ මෝහවිනය පිණිස පිළිපන්නේ වෙයි, මෙරමා මෝහවිනය පිණිස සමාදන් නො කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තමාට හිත පිණිස පිළිපන්නේ මෙරමාහට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.